බාල ගල් අඟුරු ටෙන්ඩරය නිසා රටට සිදුවන පාඩුව රුපියල් බිලියන සියයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී .චානක අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට එම ගිවිසුම අනුව ඕනෑ තරම් ප්‍රතිපාදන තිබුණද එය අවලංගු නොකිරීම බරපතල කාරණයක් බවත් ගල් අඟුරු නෞකා දෙකක් නොපැමිණියහොත් මෙම ගිවිසුම අවලංගු වන බව එම ගිවිසුමෙහි සඳහන් වෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ගල් අඟුරු නෞකා දෙකක් නොපැමිණියහොත් මෙම ගිවිසුම අවලංගු වන අතර දෙසැම්බර් මාසයේ පැමිණියේ එක නැවක් බවත් ජනවාරි මාසයේ පැමිණියේ නැව් හතරක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
පෙබරවාරි මාසයේ දැනට පැමිණ ඇත්තේ නැව් හතරක් වන අතර මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ නැව් අටක් බවත් නිසි පරිදි පැමිණියා නම් නැව් පහළොවක් පැමිණිය යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කරන ලදී.
ඒ අනුව මෙම නැව් ප්‍රමාද වීමෙන් පමණක් රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුව ඇතැයිද ඔහු කියාසිටියේය.
දැනට මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් රුපියල් කෝටි හත්දාස් පන්සියයක පාඩුවක් සිදුවී ඇති බවත් මෙය රුපියල් කෝටි දස දහස දක්වා වැඩිවන බවද මන්ත්‍රීවරයා පැවසුවේය
මෙම බාල ගල් අඟුරු සිද්ධිය නිසා රටට සිදුවූ අලාභය රුපියල් කෝටි දස දහසක් බවත් එය පියවා ගැනීම සඳහා 10%කින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් එම 10% යනු හරියටම රුපියල් කෝටි දස දහස නිසා ආණ්ඩුවේ මේ සූදානම ඉතා පැහැදිලි වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.





