සිර දඬුවම් ලබා සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් කොළඹ විහාර මහා දේවී උද්යානයේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගිය සත්යග්රහය අවසන් කර තිබේ.
එම සත්යග්රහය අවසන් කරන බව දැනුම් දෙමින් ඊට මැදිහත්ව සිටි පූජ්ය උලපනේ සුමංගල හිමි මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරගැනීමට මැදිහත්වන බවට ත්රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්යාන පරිශ්රයේ සිදුකළ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවන බවයි.
සත්යග්රහයට බලපෑ කරුණු කාරණා පිළිබඳ ත්රෛනිකායික මහ නා හිමිවරු සානුකම්පිතව සලකා බලා උක්ත තීරණයට පැමිණ ඇති බවයි පූජ්ය උලපනේ සුමංගල හිමි පැවසුවේ.
ඒ අනුව පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතා හමුවේ, ශාසනික විනය හා භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය ආරක්ෂා කරගන්නා ලෙස ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා සමස්ත මහා සංඝ රත්නය වෙත කාරුණික දැනුම්දීමක් කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරත හිමි, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමලාභිධන යන ත්රෛිනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.





