/ Oct 25, 2026

මීරා – හිස් බැල්මකට මෙතරම් හද සසල කරන්නට හැකි යැයි මා දැන සිටියේ නැහැ!

80 දසකයේ මුල් භාගයේ මෙරට දකුණු ප්‍රදේශයේ – විශේෂයෙන් තිස්සමහාරාමය, හම්බන්තොට වැනි පෙදෙස් අයත් දොළොස්දහස් රට අරබයා එවක සකසන ලද සැලසිනෙ වීඩියෝ වැඩසටහනක් නැරඹීමි. එය ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමයෙන් ලැබෙන පල ප්‍රයෝජන ගැන එවක රජය මැදිහත්ව සැකසූවකි.

එකල ග්‍රාමීය ප්‍රදේශ, නිවෙස්, මංමාවත්, දරුවන්ගේ මන්දපෝෂණ ස්වභාවය වීඩියෝවේ පැහැදිලිව ම නිරීක්ෂණය කරන්නට පුළුවන. ඒ අඩුම තරමින්, දැනට වර්ෂ 45කට පමණ එපිට දර්ශනයි. එවන් කාලයකට පසු ශ්‍රී ලංකාව දැන් තිබෙන තත්වය එකලට සාපේක්ෂව අතිශය දියුණු බව කාහට වුවත් පිළිගත හැකි දෙයකි.

එහෙත්, දසක පහකට පමණ පෙර තිබු එවැනි තත්වයෙන්, ප්‍රදේශ, නිවෙස්, මංමාවත් සහ දරුවන් මේ කාලයේ ද මෙරට තිබෙන බව පැවසුවහොත් එය ඔබ පුදුමයට පත් වන කරුණකි.

අප රටේ මලයහ ප්‍රජාවගේ ජීවිතය තවමත් තිබෙන්නේ දසක පහකට පමණ එපිටින් මෙරට අනෙක් ප්‍රදේශ තිබු තත්වයෙන් – සමහරවිට එයටත් වඩා දුක්ඛිතව ය.

ධනේශ්වර ක්‍රමයේදී කාන්තාවන් දෙවරක් පීඩිත බව කාල් මාක්ස් ලියා තැබුවේ ය. එසේ ම මලයහ ප්‍රජාව මෙරට සාමාන්‍ය පීඩිතයන්ට වඩා නන්වැදෑරුම් අන්දමින් පීඩිතයෝ වෙත්.

සැණ උදාහරණයක් දක්වන්නේ නම්, 2017 වර්ෂය මෙරට පළාත් ගණනාවකට දැඩි අයහපත් කාලගුණයක බලපෑම් ලැබුණු වසරකි. අප එහිදී රත්නපුර ප්‍රදේශයේ එම කාලගුණයෙන් පීඩාවට පත් වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මැදිහත් වූයෙමු. එහිදී නිරීක්ෂණය කළ හැකි කරුණක් වූයේ පීඩාවට පත් වූවන්ට සහන සැලසීමේදී මලයහ ප්‍රජාව වෙත සහන සැලසීමට වන ප්‍රමාදය සහ අවම කමයි. කලවාන ප්‍රදේශයේ අංක දෙක දෙමළ විද්‍යාලය ප්‍රධාන පාරට ඉතා ආසන්නයේ පැවතියත් ඈත පෙදෙස්වලට තරම් එහි විසූවන් වෙත ඇල්ම බැල්ම ලැබුණේ නැත.

වසර 10කට පමණ පසු පසුගිය දිනවල ඇති වූ දිට්වා සුළි කුණාටුවේදී සහන සේවා සඳහා ද මෙම අප ගම්පොල නගරයට ගිය අතර එහිදී ද පැහැදිලිව ම නිරීක්ෂණය වූ කරුණ නම් මලයහ ප්‍රජාව වෙත කටයුතු කිරීමේදී ඇති වන ප්‍රමාදය සහ ඔවුන් වෙත ළඟා වීමට ඇති දුෂ්කරතාවයන් ය.

අධිරාජ්‍යවාදීන් මෙරට තේ කර්මාන්තයේ කටයුතු වෙනුවෙන් ඉන්දියාවෙන් රැගෙන ආ මලයහ ප්‍රජාව එදා පටන් ම ලැබුවේ කිව නොහැකි තරම් අවමානුෂික සැලකිලි ය. 

පළමු මලයහ කණ්ඩායම වතුකරයට රැගෙන ආවේ, තලෛ මන්නාරම දක්වා මුහුදු මගින් සහ පසුව මාතලේ හරහා නුවරඑළිය දක්වා බව කියති. ලක්ෂ 3ක් පමණ ගෙනා පිරිසෙන් වතුකරය වෙත ළඟා වී තිබුණේ ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකි. 160000ක් පමණ ගමන අතරමගදී, වෙහෙසින්, රෝගයෙන්, කුසගින්නෙන් මියගොස් තිබුණි. සමහර වාර්තාවල දැක්වුණේ, පසුව පැමිණි පිරිස් මාර්ගය සොයාගනු ලැබුවේ මිනී කඳුවල සලකුණුවලින් බවයි.

මේ පැමිණි පිරිස්, පදිංචි කරවනු ලැබුවේ වගාවට ඉතා ආසන්නයේ ය. ඒ ඔවුන්ගේ ශ්‍රමය උපරිම වගාව වෙත ලබා ගනු පිණිස ය. සිහිබුද්ධිය ඇති කිසිවෙකු පදිංචිය පිණිස තෝරාගනු ඇතැයි සිතිය නොහැකි ස්ථානවල අද දක්වා ඔවුහු පදිංචි වී සිටින්නේ එබැවිනි. 

වසර දෙසියකට අධික කාලයක් පුරා බිම් කඩකට අස්වාමිකව, පැමිණෙන වතු පාලකයා කවර හෝ වේලාවක දොට්ට දැමීමේ සම්භාවිතාවක් දරා ගනිමින් හරක් මඩුවලට අන්ත පැල්පත්වල අදටත් දිවිගෙවන මලයහ ජනතාව අනල්ප ය.

මෙම ප්‍රජාව වතුවල වැඩ කරමින් මෙරටට විදේශ විනිමය මහා පංගුවක් ගෙනා කාලයේ දිට්වා වැනි සුළි කුණාටු හෝ දැවැන්ත සොබාදහම් පීඩා තිබුණේ නැත. ලොව පාලනය කළ – ඔවුන්ව මෙරටට ගෙනැවිත් දැමූ අධිරාජ්‍යවාදීන්ගේ ම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙසින් දැන් දිට්වා වැනි භයංකර ආපදා වැඩියෙන් ම බලපෑම් කළේ කඳුකරයටයි. 

පෙර සඳහන් කළ පරිදි ම පිළියම් ලබා දීම වඩා මන්දගාමී වී ඇත්තේ ද එම පීඩිත ප්‍රජාවටම යි.

දිට්වා සුළි කුණාටුවේ දැවැන්ත හානිය සිදු වී වසරකට ආසන්න වෙත්දීත් තවමත් කූඩාරම්වල වෙසෙන මලයහ ප්‍රජාව විශාල ප්‍රමාණයක් දෑසින්ම දකින්නට පසුගිය දිනවල හැකි වූයේ IPEN සංවිධානය සමඟ කළ ක්ෂේත්‍ර චාරිකාවකදී ය. 

කඳුකරයේ අතිශය බිහිසුණු ස්ථානවල සිංහල ප්‍රජාව පදිංචි වී නැත. සැබැවින් ම ඔවුන් වතුවල වැඩ කිරීම එවක අවමානයක් ලෙස සැලකීම ම මලයහ ප්‍රජාව මෙරටට ගෙන ඒමේ එක් හේතුවකි. කඳුකරාසන්න ගංගා පහත්බිම්වල ඔවුහු පදිංචිව සිටිති. එහෙත් වඩා වැඩි අවදානමේ සිටින්නේ මලයහ ප්‍රජාව බව බොරුවක් නොවේ.

නුවරඑළිය, හයිෆොරස්ට්, සීතාඑළිය, රාගල, සීටන්, අල්මාවත්ත, කඳපොල, බ්‍රැම්ලි ආදී ප්‍රදේශවල බොහෝමයක් ස්ථානවල මලයහ ජනතාව නාය යෑමට ලක් වූ තවමත් දැඩි අවදානම් සහිත ලැයිම් කාමරවල තවමත් රැඳී සිටිති. සමහරුන්ට කියා ඇත්තේ මිලිමීටර් 100 වැඩි වර්ෂාවක් ලැබේ නම් ඉවත් වන්නටයි. එහෙත් ඔවුන්ට එය මැන ගැනීමට කිසිවක් නැත. මැනගත්තත් යන්නට තැනක් ද නැත. සීටන් වැනි තැන්වල තවමත් කූඩාරම්වල දිවිගෙවන පිරිස් වෙති.

මේවා එක රැයකින් සිදු වූ දේ නොවේ. රජයට චෝදනා එල්ල කරන්නට ද අප ඉක්මන් නැත. බොහෝ තැන්වල කටයුතු සිදුවන්නේ මන්දගාමීව ය. එහෙත් මලයහ ජනයා තවමත් සිටින්නේ රජය කෙරෙහි විශ්වාසය තබාගෙන ය. 

මෙම කඳු මුහුණත්වල, අනතුරුදායක තැන්වලින් මෙම ජනතාව ඉවත් කළ යුතු ය. සැබැවින් ම දැනට ජීවත්වන ස්ථාන පුදුමඑළවනසුලු ය. 

මෙම ජනයා සම්බන්ධයෙන් ක්‍රියාකාරී වීම පිණිස ඉතා ඉක්මන් ක්‍රියාකාරී ආයතනයක අවශ්‍යතාවක් තිබේ. සාමාන්‍ය මට්ටමින් කෙරෙන ක්‍රියා පිළිවෙත් හරහා වසරකට පසුවත් සිදුව ඇත්තේ ඉතාම අල්ප දෙයක් පමණි. එසේ ම ඔවුන් වෙනුවෙන් ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් හරහා මැදිහත් විය යුතුවා විනා එක් එක් තැන්වලදී වෙන මැදිහත්වීම් නිෂ්ඵල බව පෙනේ.

රාගල වතුයායට අයත් එක්තරා ලැයිම් කාමර පෙළක් සම්පූර්ණයෙන් ගිලා බැස, බිත්ති පුපුරාගොස් අතිශය අවදානම් මට්ටමේ තිබේ. ඒ පිරිස වෙත මේ දක්වා කිසිම විසඳුමක් ඉදිරිපත්ව නැත.

එම නිවාස පෙළෙහි එක් නිවසක පැත්තක් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර, නිවසේ ඉදිරිපස පුටුවකට වී වයස අවුරුදු 5ක පමණ දැරියක් හිස් බැල්මක් යොමාගෙන සිටියා ය. 

සිංහල කතා කිරීමට නොදත් ඇගේ අසල්වැසි නිවසේ කාන්තාව පැවසුවේ,  

“ මෙයාගෙ අම්මයි තාත්තයි වත්තෙ උඩහා වැඩට යනවා. එද්දි හැන්දෑවෙ 5 පහු වෙනවා. එයාට කන්න උයලා යන්නෙ. එයා මේ පුටුවට වෙලා අම්මලා එනකම් ඉන්නවා. “ යනුවෙනි.

ඇගේ මව්පියන් වත්තේ වැඩට ගොස් ඇති අතර, ඔවුන් නැවත පැමිණෙන්නේ හැන්දෑවේ ය. උයා පිහා ගොස් තිබු කංකුන් බැදුම් ස්වල්පයක් සමගින් බත් ටිකක් සහ බිත්තරයක් අනුභව කර සිටි ඈ වසර 200කට පෙර මෙහි පැමිණි දැරියකගෙන් වෙනස් වන්නේ කුමන විදිහකින්දැයි මම කල්පනා කළෙමි.

මීරා!

ඇගේ නම මීරා ය.

මීරාගේ වයසේ රටේ අන් දැරියන් ගෙවන ජීවිතය සහ ඇගේ දෑසේ තිබු හිස් බැල්ම අතර වෙනස අදටත් මා සසලවයි.

හිස් බැල්මකට මෙතරම් හැඟීම් ඇති කළ හැකි යැ යි මීරාගේ දෑස් බැල්ම දකින තෙක් මා දැන සිටියේ නැත.

සඳුන් ප්‍රියංකර විතානගේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top