/ Feb 27, 2026

මේක ප්‍රාතිහාර්යයක්. රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම ගැන ඇමති ලාල් කියයි!

මේ වන විට රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් මහජන සේවයට එක්වෙමින් කටයුතු කරමින් සිටින අතර එය ප්‍රාතිහාර්යයක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මහනුවරදී ”තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රාජ්‍ය නිලධාරීන්ගේ එම ප්‍රාතිහාර්යයාත්මක මැදිහත්වීම පසුගියදා මුඋන දීමට සිදුවූ ස්වභාවික ව්‍යසන අවස්ථාවේ දැකගත හැකි වූ බවත් එවැනි මැදිහත්වීමක් නොවන්නට අද පවතින තත්ත්වයට මෙතරම් කඩිනමින් පැමිණීමට නොහැකි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

”තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 523ක වියදමින් නව නිවාස 523ක් ඉදිකිරීමට අපේක්ෂිතයි. ඉන් නිවාස 171ක් ආරම්භ කිරීම සඳහා ප්‍රතිලාභීන් 171ක් වෙනුවෙන් රුපියල් මිලියන 17.1ක මුදලක් ලබා දීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පළමුවෙන්ම අපි සුබ පතනවා නිවසකට හිමිකාරීත්වය ලබා ගත්ත නිවැසියන් සියලුදෙනාට, තිබුණු ජීවිතයට වඩා තරමක් හෝ හොඳ පැත්තට පියවරක් තියන්න අවස්ථාවක් ලැබීම ගැන. මේක ජාතික වැඩසටහනක්. නිවසක් කියන්නේ මූලික මානව අයිතිවාසිකමක්. නිදහස ලැබිලා අවුරුදු 78ක් ගෙවිලත් අපිට බැරිවෙලා තියෙනවා මිනිසුන්ගේ ඒ මූලික අවශ්‍යතාවය ඉටුකරන්න. අපිට ව්‍යාපෘති සකස් කරගෙන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරගෙන ඒ මූලික අවශ්‍යතාවය ඉටුකරන්න අපේ රාජ්‍ය සේවයේ නිලධාරීන් සම්බන්ධ කරගෙන ලොකු කැපවීමක් කරන්න වෙලා තියෙනවා. රටේ තවම ආර්ථික අර්බුදයක් තියෙන බව කවුරුත් දන්නවා. ණය ගෙවන්න බැරිවෙලා බංකොලොත් වුණ රටක දැන් ණය ගෙවමින් යන තත්ත්වයක් ඇති කරගෙන යනවා. එවැනි වටපිටාවක රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වුණු නිවාස සකස් කරදීමේ වැඩසටහනේ රජයේ පංගුවකුත් ආණ්ඩුවේ මැදිහත්වීමකුත් ප්‍රදේශයේ අයගේ ශ්‍රම දායකත්වයත් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වන වැඩසටහනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කාර්යයේදී නිවැසියන් නිවාස සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු මේ රාජ්‍ය නිලධාරීන්ගේ ලොකු කැපවීමක් තුළින් තමයි මෙහි සාර්ථකත්වය අත්පත් කරගෙන තියෙන්නේ.

රාජ්‍ය සේවයටත් බොහෝ වෙලාවට චෝදනා ඉදිරිපත් වෙනවා. නමුත් අපි දැකපු දේ තමයි මෑත කාලයේදී මහනුවර දිස්ත්‍රික්කයේදී විශේෂයෙන් කියන්න ඕනේ ස්වභාවික විපත් අවස්ථාවේදී මේ කාර්යයේදිත් රාජ්‍ය නිලධාරීන් උනන්දුවෙන් මැදිහත්වීමෙන් ජනතාවගේ කටයුතු වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. එහෙම නොවුණා නම් මහනුවර දිස්ත්‍රික්කය අද තිබුණු තත්ත්වයට ගන්න බැහැ. මේක ප්‍රාතිහාර්යයක්. රාජ්‍යනිලධාරීන්ගේ කැපවීම නොතිබෙන්න කවදාකවත් රට විපතට සාපේක්ෂව අද තියෙන තත්ත්වයට ගන්න බැහැ. අද රටේ උනන්දුවක් ඇතිවෙලා තියෙනවා අපි කවුරුත් එකතුවෙලා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනේ කියලා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top