පණ පිටින් ගිනි ගෙන දැවීමෙන් 13 දෙනෙකු මරණයට පත් වූ කතාව පසුගිය දිනවල ශ්‍රී ලංකා සමාජය ප්‍රකම්පනය කළේ ය. මේ නිසා ඇති වුණ වාද විවාද නිමක් නැත. එහෙත් අහිංසකයන් 13 දෙනෙකු අඟුරු වූ මේ සිදුවීමේ වගකීම කාටද යන්න තවමත් ප්‍රශ්නකාරී ය.
2000 – 9 දරණ වැඩිහිටි තැනැත්තන් සම්බන්ධ පණත අනුව වැඩිහිටියන්ට සැලකීමේ නෛතික වගකීම දරුවන්ට හිමිවේ. එහෙත් දෙමව්පියන්ට හොඳින් සලකන්නට ආර්ථික තත්වයක් හැම දරුවෙකුටම තිබේද යන්න ගැටලුවකි. ඒ නිසාවෙන් වැඩිහිටි නිවාස කියා දෙයක් බිහි වී තිබේ.
මේවා සම්බන්ධයෙන් නියාමනය කළ යුත්තේ, වගකිව යුත්තේ, සොයා බැලිය යුත්තේ රජයයි. වසරකට සුරක්ෂා කළ යුතු මට්ටමේ වැඩිහිටියන් වෙනුවෙන් රජය ඍජුව වියපැහැදැම් කරන්නේ කෝටි 5ක පමණ මුදලක් බව කියති. ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේද කොටසක් වැඩිහිටියන් වෙනුවෙන් වෙන් කර තිබේ.
එහෙත් වසර දෙකක් ගත වුණද ඔවුන් කළ දෙයක් නැත. මේ ආයතන ලියාපදිංචි කර නැති ඒවා තිබෙන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ වසරකට ඉහතදීය. ඒවා ලියාපදිංචි කර නියාමනය කළේ නම් මේ විනාසය සිදුවන්නේ නැත.
කවුරුත් බලාගන්නට නැති වැඩිහිටියන් සිටිනවා කියා උදව් කිරීමේ හෝ පින් ලබා ගැනීමේ හේතුවෙන් වත් වැඩිහිටි නිවාස හිතුමතේ දමන්නට කාටවත් නොහැකි ය. රටේ නීතියක් කියා දෙයක් තිබෙන බැවිනි.
අවසානවන්ත සිදුවීම සිදුවුණ හොරණ – අඟුරුවාතොට නිවාසය වැඩිහිටි පමණක් නොව මානසික දුබලතා සහිත පිරිස්ද සිට ඇත. ඔවුන්ද මිය ගිය පිරිස අතර වෙති.
මේ පිරිස් යොදාගෙන විවිධ දර්ශන පටිගත කර සරුසාර සමාජ ජාල ගිනුම් හරහාද මුදල් උපයාගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම පසුගිය ජුනි 03 දා සවස 6ට පමණ සිදුව තිබේ. මේ අවස්ථාවේ මෙහි හිමිකරු ලෙස කටයුතු කළ අය හෝ පාලිකාව ලෙස කටයුතු කළ අය හෝ සිට නැත. ගිනිගත් නිවාසයේ ඒ වන විට 69 දෙනෙකු සිටි බව කියති. මෙහි ප්‍රමාණය අනුව එපමණ පිරිසක් සිටිය හැක්කේ තදබද වී බව සිතිය හැකිය.
හදිසියේ ගින්න ඇවිළී ඇත්තේ, විදුලි පරිපථ පුළිඟුවක් නිසා බව කියැවේ. එයින් එහි තිබූ මෙට්ට 80කට පමණ ගිනි ඇවිළී තිබේ. ගින්න පාලනය කර ගැනීමට එහි සිටි දෙදෙනාට කිසිසේත්ම හැකිව නැති අතර, ගිනි නිවන උපකරණ ආදිය කිසිවක් එහි තිබී නැත. එසේ ම වතුර පවා සපයාගෙන ඇත්තේ අහළපහළ නිවෙස්වලිනි.
ගින්න නිවාදැමීමට ගිය සමහර ගම්වාසීන් පවසන ආකාරයට මෙහි සිටි මානසික ආබාධිත දරුවන් පුටුවලට බැඳ තිබී ඇති බැවින් බේරා ගැනීම අසීරු වී තිබේ. දානයක් තිබෙන දිනට පමණක් හොඳින් ආහාර ලබා දෙන බවත් අනෙක් දිනවලට පරිප්පු සහ බත් දෙන බවටත් නේවාසිකයන් සමහර දෙනෙක් පුවත්පත්වලට පවසා තිබේ. ලොකු අයියා නමැති අය පහර දෙන බවද තවත් අයෙක් කියා තිබිණි.
ඉසුරු අනුෂ්ක හෙවත් ලොකු අයියා නමැති අය මෙම වැඩිහිටි නිවාසය පාලනය කරන්නට ගත්තේ ඔහුගේ පියාගේ ඇවෑමෙන් බවත් ඉන් පසුව එහි තත්වය නරක් වූ බවත් ප්‍රදර්ශනය කරන දේ මෙහි නැති බවත් සමහර ගම්වැසියන්ගේ මතයයි. ඔහුගේ වීඩියෝ පළකිරීම් දෙස බැලීමේදී පෙනී යන්නේ ද කිසිදු ආචාරධර්ම සැලකීමකින් තොරව රෝගී සහ මානසික ආබාධිත දරුවන්ගේ වීඩියෝ බෙදා හැර ඇති බවය.
සමාජ ශාලාවල විනෝදකාමී ජීවිතයක් ගත කිරීම පිණිස මෙම ස්ථානය හරහා ඉසුරු අනුෂ්ක මුදල් ඉපැයූ බවට ද චෝදනා එල්ල වේ. කෙසේ වෙතත් මෙතරම් කාලයක් ස්ථානය පවත්වාගෙන ආ ඔහු මෙය ලියාපදිංචි කළ යුතු බව නොදන්නා බව කීම විහිළුවකි. එසේ ම අනෙකුත් පහසුකම් සපයා නොදීමද ආරක්ෂාව සැලසීම මගහැරීමද නොසලකා හැරිය හැකි දේවල් නොවේ.
පිං තකා යැයි කියමින් වුවද රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. එබැවින් මේ මරණ වෙත යුක්තිය ඉටු විය යුතු ය. එසේ ම මෙවැනි වෙනත් නිවාස සියල්ලම පාහේ කඩිනමින් නියාමනය කිරීමට රජය අප්‍රමාදීව කටයුතු කළ යුතු ය.
- තීක්ෂණ කිරිඇල්ල






