/ Jun 11, 2026

ඔන්ලයින් මුදල් ජාවාරමේ නිරතව සිටි විදෙස් ජාතිකයින් කණ්ඩායමක් අත්අඩංගුවට!

කූඨ ලේඛන සකසමින් ඔන්ලයින් මුදල් ජාවාරම් සිදුකළ බවට සැකපිට චීන ජාතිකයින් 17 දෙනෙකු සහ ලාඕස් ජාතික තරුණියක් ඊයේ(10) රාත්‍රියේදී කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතර ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පිරිසක්ද සිටින බවද පොලීසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හිමිකරු නොමැති විදේශ ගමන් බලපත්‍ර 62 ක් , අපරාධ සඳහා යොදාගත් ජංගම දුරකථන තොගයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක්, ශ්‍රී ලංකා රුපියල් මුදල් ප්‍රමාණයක් සහ විදේශීය මුදල් ප්‍රමාණයක්, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 2000 කට ආසන්න ප්‍රමාණයක්, කූට ලේඛන සැකසීම සඳහා යොදාගත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම්වරියගේ අත්සන සහිත ව්‍යාජ ලියකියවිලි සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාජ ලියකියවිලි තොගයක්ද මෙම අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී සොයාගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් පිරිස අද දින (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ සහ රථ වාහන දිසාව භාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංස මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක සාලිය ඒකනායක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top