/ Jun 11, 2026

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට – රෝගීන් 39,000 ඉක්මවයි!

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 39,000 ඉක්මවා ඇති අතර, ජූනි මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 5,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ජගත් අමරසේකර පවසන්නේ ජනවාරි මාසයේ රෝගීන් 7,800ක් පමණ වාර්තා වූ අතර, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල එම සංඛ්‍යාව 5,000ත් 6,000ත් අතර මට්ටමක පැවතුණු බවයි.

කෙසේ වෙතත්, මැයි මාසයේදී රෝගීන් 8,600ක් වාර්තා වූ අතර, ජූනි මාසයේ ගත වූ දින 10 තුළම 5,000කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යන බව පෙන්නුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, ඉතිරි සියලු පළාත්වල එකතුව එම සංඛ්‍යාවේ අනෙක් කොටස නියෝජනය කරයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශය පමණක් නොව, ප්‍රජාව, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සහ අනෙකුත් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව නිලධාරීන් අවධාරණය කරයි.

පසුගිය ජූනි 8 සිට 10 දක්වා දිවයිනේ අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 74ක් ආවරණය කරමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පරිසර නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව කණ්ඩායම් ලෙස ක්ෂේත්‍රයට යොමු කරනු ලබා තිබුණි.

එම දින තුන තුළ පරිශ්‍ර 90,000කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇති අතර, ඉන් 6,000කට වැඩි ස්ථානවල ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබේ. එම ස්ථානවලින් 1,000කට වැඩි සංඛ්‍යාවක් එම අවස්ථාවේදීම නිවැරදි කිරීමට පියවර ගෙන ඇත. තවද රතු නිවේදන 3,300කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති අතර, 2,400කට ආසන්න නඩු සංඛ්‍යාවක්ද පවරා තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ ඩෙංගු මදුරුවා දුර පියාසර නොකරන බැවින් තමන්ගේ නිවසේ හෝ අවට පරිසරයේ ඇති බෝවන ස්ථාන විනාශ කිරීමෙන් රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අවම කළ හැකි බවයි. එබැවින් නිවෙස්, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු සියලු ස්ථාන පිරිසිදුව තබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

මේ අතර, ජූනි 15 සිට 20 දක්වා දිවයින පුරා තවත් ජාතික මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම වැඩසටහන සඳහා ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ උණ ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බවයි. විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම්වල පුද්ගලයන් වහාම රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය. සාමාන්‍ය පුද්ගලයෙකු වුවද දින දෙකක් ඇතුළත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බව සඳහන් කෙරේ. ඩෙංගු රෝගය ප්‍රමාද වී හඳුනාගැනීමෙන් කම්පන තත්ත්වය ඇතුළු බරපතළ සංකූලතා ඇති විය හැකි බැවින්, රෝග ලක්ෂණ පෙනී යන විගස ප්‍රතිකාර ලබා ගැනීම මරණ සහ සංකූලතා අවම කිරීමට උපකාරී වන බව සෞඛ්‍ය අංශය අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top