/ Jun 12, 2026

ශ්‍රී ලංකා වෙළඳ අමාත්‍යවරයා සහ යුනාන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්!

10 වැනි දකුණු ආසියානු ප්‍රදර්ශනයට (South Asian Expo) සහභාගී වීම සඳහා චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිල සංචාරයක නිරත වන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ යුනාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාර සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් ප්‍රාදේශීය කමිටුවේ නියෝජ්‍ය ලේකම් වං යුබෝ (H.E. Mr. Wang Yubo) අතර විශේෂ නිල හමුවක් 2026 ජූනි 10 වන දින පැවැත්විණි.

යුනාන් ප්‍රාන්තයේ උප ආණ්ඩුකාර ලියු යොන්ග් (H.E. Mr. Liu Yong) ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

මෙහිදී අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් ආණ්ඩුකාර වං යුබෝ, යුනාන් ප්‍රාන්තයේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, පතල් කැණීම, සංචාරක ව්‍යාපාරය සහ පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රයේ ඔවුන් ලබා ඇති දියුණුව මෙන්ම, ගිනිකොනදිග ආසියාවේ ප්‍රධාන වෙළෙඳ ද්වාරයක් ලෙස යුනාන් ප්‍රාන්තය ඉටුකරන භූමිකාව පිළිබඳවද ඒ මහතා කරුණු පෙන්වා දුන්නේය.

2023 වසරේ සිට 2026 වසර දක්වා දකුණු ආසියානු ප්‍රදර්ශනයේ “ප්‍රදර්ශන හවුල්කාර රටක්” (Exhibition Partner Country) ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සුවිශේෂී අවස්ථාව සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ යුන්නාන් බලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.

මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වසරින් වසර කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
• 2023 වසර: ශ්‍රී ලාංකික සමාගම් 57ක්.
• 2026 වසර: සමාගම් 100කට ආසන්න සංඛ්‍යාවක් සහ නියෝජිතයින් 250කට ආසන්න පිරිසක්.

මෙම වසරේදී මැණික්, ලංකා තේ, කුළුබඩු, අත්කම් නිර්මාණ, සුවතා නිෂ්පාදන (Wellness Products), ආහාර, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ ඇඟලුම් යන ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ප්‍රදර්ශනයට එක්ව සිටී.

චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි යුනාන් ප්‍රාන්තයේ “නිදහස් කිරීම් 3ක් සහ පහසුකම් සැලසීම් 3ක්” (3 exemptions and 3 facilitations) නැමැති සුවිශේෂී වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා යුනාන් ප්‍රාන්තයේ තාක්ෂණික සහය සහ මගපෙන්වීම ද අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාර වං යුබෝ මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රසාරණය සහ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් යුනාන් ප්‍රාන්ත රජයේ උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවයි.

මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශවය අතර ව්‍යාපාරික (B2B) සබඳතා සහ ආයෝජන අවස්ථා ඉදිරියටත් තවදුරටත් පුළුල් කරගැනීමට එකඟතාව පළ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top