/ Jun 12, 2026

ප්‍රසාද් සිරිවර්ධනගෙන් රුපියල් බිලියන 10ක් ඉල්ලා ඇමති සමන්තගෙන් එන්තරවාසි!

අසත්‍ය, පදනම් විරහිත, ද්වේශ සහගත චෝදනා මගින් තමාගේ කීර්තිනාමයට මහත් වූ හානියක් සිදු වූ බව පවසමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනගෙන් රු. බිලියන 10ක වන්දියක් ඉල්ලා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් එන්තරවාසියක් යොමුකර තිබේ.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයා තමා කෙරෙහි ඇති මහජන විශ්වාසය ගරුත්වය සහ පිළිගැනිම විනාශ කිරිමේ අරමුණින් එම ප්‍රකාශය සිදු කර ඇති බවත් පවසමින් එම එන්තරවාසිය නිකුත් කර ඇත.

2026 අප්‍රේල් මස 27 වන දින හෝ ඊට ආසන්න දිනයක සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක දී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් මෙම ද්වේශ සහගත, අසත්‍ය චෝදනාව එල්ල කර ඇති බවත්, එම සියලු චෝදනා කිසිදු තහවුරු කිරිමකින් තොරව හා හුදෙක් තමාගේ ප්‍රතිරූපයට හා කීර්තිනාමයට හානිකිරිම ප්‍රමුඛ අරමුණ සහිතව සිදු කරන ලද ප්‍රකාශයක් බවත් අමාත්‍යවරයා විසින් යවන ලද අදාල එන්තර වාසිය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව අදාල ජනහමුවේදි ඉහත කී ද්වේශසහගත හා අසත්‍ය චෝදනා ඇතුලත් අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමාට අත්විඳීමට සිදුවු අපකීර්තිය, ලැජ්ජාව සහ අපහාසය වෙනුවෙන් අලාභය ලෙස එන්තරවාසිය ලැබි දින 14ක් ඇතුලත මෙම රුපියල් බිලියන 10ක මුදල ගෙවන ලෙසත් දැනුම් දී ඇත. එමෙන්ම අදාල දින 14 ඇතුලත එම මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් සිවිල් උසාවියක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අදාල එන්තර වාසිය මගින් වැඩි දුරටත් සඳහන් කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top