මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසකදී 23 හැවිරිදි විවාහක තරුණියක් අබිරහස් ලෙස මියගොස් තිබේ. ඇයගේ මළසිරුර මෙලෙස සොයාගෙන ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයාගේ නිවසේ තිබියදීය.
තමා රාත්‍රී සංදර්ශනයක් බලා පැමිණෙන විට බිරිඳ ගෙල වැලලාගෙන සිටිනු දැක, කඹය කපා සිරුර ඇඳ මතට ගත් බව ස්වාමිපුරුෂයා පවසා ඇත. එහෙත් තරුණියගේ ඥාතීන් ඊට දැඩි ලෙස විරුද්ධ වෙමින් චෝදනා කරන්නේ, ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ අය එක්ව ඇයට පහරදී ඝාතනය කර ඇති බවයි.
මීට වසර දෙකකට පෙර විවාහ වී ඇති මොවුන් අතර නිරන්තර ගැටුම් පැවතී ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ස්වාමිපුරුෂයාගේ පහරදීම් ඉවසාගත නොහැකිව ඇය දික්කසාද වීමටද සූදානමින් සිට ඇති අතර, මේ සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම කර තිබේ. මේ අතරතුර ස්වාමිපුරුෂයාගේ පාර්ශ්වයෙන් තරුණිය ලියූ බව කියන අවසන් ලිපියක් ඉදිරිපත් කර ඇතත්, එහි ඇත්තේ ඇයගේ අත්අකුරු නොවන බව ඥාතීන් පවසයි.
මෙම සැකකටයුතු තත්ත්වය මත ඥාතීන්ගේ චෝදනා කිරීම් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගෙන ඇත. මේ වන විට අදාළ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර ජාතික රෝහල වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, බලගොල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.






