/ Jul 01, 2026

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රගතිය IMF ඇගයුමට – අඛණ්ඩ සහය ගැනද තහවුරුවක්!

බාහිර කම්පන රැසක් මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රජය දක්වන කැපවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස ප්‍රශංසාවට ලක් කර තිබේ.

ජූනි 24 සිට 30 දක්වා කොළඹ නිල සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස, ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡාවක නිරත විය.

එහිදී අදහස් දක්වමින් ඔහුන් පවසා ඇත්තේ, IMF සහාය ලබන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි.

එමෙන්ම ඉදිරි ආර්ථික පියවර සඳහා ද අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද සහතික වී තිබේ.

IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රතිසාධන ප්‍රගතිය සහ රටේ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී බෙහෙවින් අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත EFF වැඩසටහනේ 7 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කරන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් එම පිරිස, ඊට පෙර ශ්‍රී ලංකාව සපුරාලිය යුතු සෙසු වගකීම් නිම කිරීමට අපේක්ෂිත බවද සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ, ආර්ථික ස්ථාවරභාවය ප්‍රමුඛතාවක් වන අතරම රජයේ අවසාන අරමුණ වන්නේ එහි ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලබා දීම බවය.

එක්සත් ජනපද තීරුබදු පැනවීම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර අභියෝග නිසා යම් බාධා ඇති වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ වුවත් සාර්ව ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ආරක්ෂා කිරීමට රජය කඩිනම් පියවර ගත් බව පැවසීය.

EFF වැඩසටහන යටතේ තව වසරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති බැවින්, ජනතාව මත අනවශ්‍ය බරක් නොතබා එය සාර්ථකව නිම කිරීමට රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top