දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීම නිසා බරපතල වැඩ සහිතව වසර 16 ක සිරදඬුවමක් සහ දඩමුදලකට යටත්ව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥ රන්ජන් ද සිල්වා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇති බව සඳහන්.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ලබා ගැනීම මඟින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණි.
එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු අතර ඔහුට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර හතර බැගින් සිරදඬුවම් නියම කෙරුණි.
ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය.






