/ Jul 04, 2026

ටිරාන්ගේ මීඩියා කොල්ලය ගැන විමර්ශනයක් : කම්කරු නි.ඇමැති කොමසාරිස් ජනරාල්ට නියෝග කරයි

මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මුද්‍රණය කෙරෙන හිටපු ඇමැති ටිරාන් අලස්ට අයත් සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම ගැන විමර්ශනයක් කරන්නැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා කම්කරු කොමසාරිස් ජනරාල්වරියට ඊයේ (3) නියෝග කර ඇත.

ඒ අනුව සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ සේවකයන් අනීතික ලෙස සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නොගෙවීම, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම පැහැරහැරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය විශේෂ විමර්ශනයක් කිරීමට නියමිතය.

පසුගිය කාලසීමාවේදී සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ සේවකයන් රැසක් විවිධ සේවා ගැටලුවලට මුහුණ පා ඇති බවට ද කම්කරු දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා වී ඇත.

එම සිදුවීම් සම්බන්ධයෙන් සමාගමේ සේවකයන් රැසක් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර ඒවා ගැන මූලික විමර්ශන සිදුවෙමින් පවතී.

සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ මෙම අර්බුදය සම්බන්ධයෙන් මීට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තිය සමිතිය, වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ආමන්ත්‍රණය කරමින් නිවේදන නිකුත් කළ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මීට පෙර අවස්ථාවකදී කම්කරු කොමසාරිස්වරියගේ අවධානයට මේ කරුණ ලක්කර තිබිණ.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top