එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් රැසක් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡාවක් පවත්වා තිබේ.
මේ අවස්ථාවට ශ්‍රීනාත් ප්‍රනාන්දු (Metropolitan Lecturer), පරිසර විශේෂඥ ආචාර්ය ස්පෙන්සර් විතාරණ ,ADB හි ප්‍රධාන ආර්ථික නිලධාරී හසිතා වික්‍රමසිංහ සහ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ පාරිසරික විශේෂඥ නදීරා රාජපක්ෂ යන අය එක්ව ඇත.
මෙහිදී එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව පැමිණ සිටි විශේෂඥයන්ගේ අදහස්, යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙම කරුණු දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් රටේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළේය.
මේ අදහස් දත්ත හා විශේෂඥ දැනුමෙන් සන්නද්ධ වීම තුළින් රටේ අනාගතය සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත හා ඵලදායී යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එමෙන්ම රටේ ප්‍රධාන විපක්ෂය ලෙස මෙම ගැටලු සම්බන්ධයෙන් වගකීම් සහගත හා නිර්මාණාත්මක මැදිහත්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම-සභාපතිවරයා ලෙසද තමා කටයුතු කරන බැවින් අනාගතයේදී මෙවැනිම සාකච්ඡා හා අදහස් දැනුම බෙදාගැනීම දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බවත් ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය සමඟ සම්බන්ධ වන ලෙසට මේ අවස්ථාව වෙනුවෙන් එක්ව සිටි විශේෂඥයින්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරාධනා කළේය.
තවද එල් නීනෝ තත්ත්වය සහ දකුණු දෝලනය (ENSO) ලෙස හැඳින්වෙන දේශගුණික චක්‍රය පිළිබඳ කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා පැවසුවේ පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සහ වායුගෝලීය පීඩන වෙනස්වීම් හේතුවෙන් මෙම තත්ත්වයන් ඇතිවන බවයි. එසේම එල් නීනෝ තත්ත්වයකදී සාගර ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වන බවත් ලා නිනා තත්ත්වයකදී එය සාමාන්‍යයට වඩා සිසිල් වන බවත් මෙම වෙනස්කම් ලෝකයේ කාලගුණික රටාවන්ට දැඩි බලපෑම් එල්ල කරන බවත් පැමිණ සිටි පිරිස හමුවේ පෙන්වා දුන්නේය.
මෙවැනි දේශගුණික වෙනස්කම් හේතුවෙන් නියඟ, ගංවතුර, උෂ්ණත්ව තරංග, ආහාර නිෂ්පාදනයේ අඩුවීම් සහ ජල හිඟය වැනි ගැටලු ඇතිවිය හැකි බව සඳහන් කළ විපක්ෂ නායකවරයා 1982, 1997–1998 සහ 2015–2016 වර්ෂවල ඇති වූ එල් නීනෝ තත්ත්වයන් හේතුවෙන් ලොව පුරා දැඩි දේශගුණික අර්බුද රැසක් මතුවූ බවද සිහිපත් කළේය. ඊට අමතරව කාලගුණ විද්‍යාඥයන් විසින් මෙවර සුපිරි එල් නීනෝ තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බැවින් එවැනි දෙයක් ඇති වුවහොත් 2026 හෝ 2027 වසරවලදී ගෝලීය උෂ්ණත්වය වාර්තාගත මට්ටම් කරා ඉහළ යා හැකි බවට අනාවැකි පළකර ඇති බවත් පැමිණ සිටි පිරිස හමුවේ පැවසීය.
මේ අහිතකර කාලගුණ තත්ත්වය ගෝලීය ආහාර සුරක්ෂිතතාවට ද දැඩි බලපෑම් කළ හැකි බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පෙන්වා දුන්නේ ලෝක ජනතාවගේ කැලරි අවශ්‍යතාවයෙන් 60%ක් පමණ සපයන සහල්, තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා වැනි ප්‍රධාන භෝගවල නිෂ්පාදනය අඩාල වීමේ අවදානමක් පවතින බවයි. එමඟින් ආහාර මිල ගණන් ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීමේ අවදානමක් ද පවතින බව ඔහු පැවසීය. එසේම දේශගුණික අර්බුදවලට මුහුණ දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝ විට යටිතල පහසුකම්, මූල්‍යමය සහ තාක්ෂණික හැකියාවන් සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ දෙන බවත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ සිටි පිරිස හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.






