/ Jul 11, 2026

එල්නිනෝ ගැන කාලගුණයෙන් නවතම දැනුම් දීම!

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාස තත්ත්වය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝලීය කාලගුණ අනාවැකිවලට අනුව මෙම ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක දේශගුණික විපර්යාස සහ කාලගුණික වෙනස්වීම් ඇති විය හැකි අතර මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ ‘එල් නිනෝ’ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම තත්ත්වයත් සමග දැනට පවතින නිරිතදිග මෝසම් වැසි අඩුවීමක් සිදුවිය හැකි බවත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බවත් නවතම කාලගුණ අනවකිවල දැක්වෙයි.

පවතින ජල ධාරිතාව සහ ඉදිරියේදී ලැබීමට නියමිත වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්, ජලය දැඩි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම, විදුලි බලශක්ති උත්පාදනය, පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම යන අංශ සඳහා ජලය අරපිරිමැස්මෙන් හා ක්‍රමවත්ව භාවිත කිරීමට කටයුතු කළ යුතුවෙයි.

‘එල් නිනෝ’ බලපෑමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙසද රජය ගොවි ජනතාවගෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ, එය ඉතා ප්‍රබල මට්ටමකට පත් නොවීමේ තුනෙන් එකක (1/3) සම්භාවිතාවක්ද පවතින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top