මේ වනවිට මෙරට වී නිෂ්පාදනය ඉහළ ගොස් ඇති හෙයින් නිෂ්පාදනය කෙරෙන සහල් ප්‍රමාණය වැඩි නිසා සහල්වලින් සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය කළයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඒ අනුව අතුරු නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුකරන ලෙසයි ජනාධිපතිවරයා පැහැදිලි කළේ.
“අපේ සහල්වලින් ආහාර පාන බත විතරක් නෙවෙයි. සහල්වලින් තව අතුරු නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා සහල්වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. හාල්වලින් අනිත් නිෂ්පාදනය කරන්න තහනම්. ඇයි? අපිට හාල් මදි බත්වලට විතරක්. හැබැයි අපේ දැන් හාල් නිෂ්පාදන ඇති වෙලා තිබෙනවා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල්වලින් බත් විතරක් නෙවෙයි හාල්වලින් අනිත් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වෙළඳපොළ වැඩි කරන්න ඕන. තමුන්නාන්සේලා නිෂ්පාදනය කරනවා නම් ගොවිජනතාව විශාල අස්වැන්නක් ගේනවා නම් ඒක බතට විතරක් විතරක් වැඩියි. ඒ නිසා තව අතුරු නිෂ්පාදන, සත්ව ආහාර, එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන. එතන්ටත් යන්න වෙනවා.. අපි දන්නවා ජපන් රටේ සහල්වලින් විශාල නිෂ්පාදන කරනවා. හැබැයි අපි සහල්වලින් බත විතරක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා. ඒ නිසා අනිත් නිෂ්පාදනවලටත් යන්න ඕනේ.. අනිත් නිෂ්පාදනවලට ගියපුවහම ගොවි ජනතාවට තවත් තමන්ගේ වීවලට වැඩි මිලක් ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා තිබුණා ගැසට් එකක්, අනිත් නිෂ්පාදනවල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. සහල්වලින් බත් පමණක් නෙවෙයි, අනිත් නිෂ්පාදනත් කරන්න කරන්න පුළුවන් දැන්. තව වගා කරමු. තව අපේ කුඹුරේ අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායිතාවය වැඩි කරගමු. තව මහන්සි වෙමු. අපි නිෂ්පාදන වැඩි කරමු. අපේ රටට අවශ්‍ය වෙන නොයෙකුත් ආහාර වර්ග අපිට සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන.
අපේ පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට වැඩක් නෑ. බිස්කට් හදන ඒවා තියෙනවා. කේක් හදන ඒවා තියෙනවා. අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා. හැබැයි ඒවා පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ඒවා වෙළඳපොලට ගේන්න ඕන. එතකොට තමයි අපිට හාල්වලට විශාල වෙළඳපොලක් හැදෙන්නේ. එතකොට මෝල් හිමියන්ට ඇවිල්ලා ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට්වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාරවලට. හොඳයිනේ. එතකොට විශාල වෙළඳපොළක් හැදෙනවා නේ. එහෙම වෙළඳපොළක් හරහා තමයි අපේ මේ වීවලට සාධාරණ මිලක් සහ වෙළඳපොලේ තරඟකාරීත්වයක් හදලා ඉස්සරහට යන්න පුළුවන්”
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (10) අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.






