මීගමුව බන්ධනාගාර ගැටුමේදී මියගිය රැඳවියන් 21 දෙනා වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රජයෙන් ඉල්ලීමක් කරයි.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් එම ඉල්ලීම සිදුකර තිබේ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ගැටුමෙන් මරණයට පත්වූ සියලුම රැඳවියන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අය වූ බැවින් ඔවුන්ගේ භාරකාරත්වය රජය විසින් දරමින් සිටි බවයි.
ඒ අනුව ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජයට අත්හළ නොහැකි වගකීමක් පැවති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තවදුරටත් පෙන්වා දෙන්නේ.
මෙහිදී මියගිය රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකිව යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ඒ අනුව මියගිය රැඳවියන්ගේ පවුල් වෙත සාධාරණ වන්දි මුදලක් ලබා දීම ඉක්මණින් කළ යුතුව ඇති බවද ඔවුහු පෙන්වාදෙති.








