/ Aug 01, 2026

කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික තහනමක්!

දිවයිනට බස්නාහිර දෙසින් පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් යාපනය සිට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

මේ හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු ධීවර රැකියාව සඳහා පිටත්ව යාම අතිශය අවදානම් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි එම කටයුතුවලින් බැහැර වන ලෙසත්, මේ වන විට මුහුදු ගොස් සිටින යාත්‍රා ඇත්නම් කඩිනමින් හා ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා දැනුම් දී සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක් ගනී.

කෙසේ වුවද කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකියි.

මීට අමතරව ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි වීමේ හැකියාවක් පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top