/ Aug 04, 2026

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි – දිස්ත්‍රික්ක 05ක් තවදුරටත් අවධානමේ!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 05ක් බලපෑමට ලක්ව ඇති අතර ආපදා මරණ පහක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ හතරක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණයක් ද වාර්තා වන අතර විශේෂයෙන්ම මෙම මරණ සිදුව ඇත්තේ පස්කඳු කඩා වැටීමෙන් සහ නාය යෑමෙන් බවත් එම මධ්‍යස්ථානය කියයි.

මෙම සිදුවීම් හේතුවෙන් තිදෙනකු තුවාල ලබා ඇති අතර අතුරුදන් සිදුවීම් සංඛ්‍යාව දෙකකි.

බලපෑමට ලක්ව ඇති මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන නවයක පුද්ගලයන් 1,881 දෙනකු තාවකාලිකව රඳවා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මෙම තාවකාලික ස්ථාන ක්‍රියාත්මකය. ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ නිවාස හානි 129ක් වාර්තා වන අතර පූර්ණ නිවාස හානි මෙතෙක් වාර්තා වී නැත.

බොහෝ ප්‍රදේශවලින්, පැවැති අයහපත් කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වන නමුත් මාර්ග භාවිතයේ දී, ප්‍රවේශම් වන ලෙසත් බලධාරීහු ඉල්ලති.

ඇතැම් ප්‍රදේශවලින් වර්ෂාවේ අඩුවීමක් පෙන්නුම් කළ ද තවදුරටත් වැසි ලැබීම් අපේක්ෂා කරන බවත්, පස සංතෘප්ත වී ඇති බැවින් නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්නැයි ද එම බලධාරීහු තවදුරටත් ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top