මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශය වෙනුවෙන් නිෂ්පාදනය කළ අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රාව නිල වශයෙන් දියත් කර භාරදීමේ උත්සවය ඊයේ (04) මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“CAPTAIN C” ලෙස නම් කර ඇති මෙම යාත්‍රාවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 234,000කි. කියුබික් මීටර් 29ක මත්ස්‍ය ගබඩා ධාරිතාවක් සහ ලීටර් 12,500ක ඉන්ධන ධාරිතාවකින් සමන්විත මෙම යාත්‍රාව මොරිෂස්හි Captain C Adventure Offshore Fishing Co-operative Society ආයතනයේ සභාපති රමේෂ් චුට්ටූ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
පසුගිය කාලසීමාව තුළ වසා දැමීමට හෝ පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී තිබූ සීනෝර් (Cey-Nor) ආයතනය වත්මන් රජය යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
උත්සවය අමතමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සඳහන් කළේ, රජය සතු ආයතන නිසි කළමනාකරණය සහ කැපවීම මත ලාභදායී ආයතන බවට පත් කළ හැකි බව සීනෝර් සහ ලංකා ධීවර සංස්ථාව මේ වන විටත් ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවයි.
සීනෝර් ආයතනයට නෝර්වේ රාජ්‍යයෙන් තාක්ෂණික සහය ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර ලබන මාසයේ ජපානයේ සිදුකරන සංචාරයේදීද ආයතනය නවීකරණයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
මොරිෂස් පාර්ශ්වයේ ඉල්ලීමකට අනුව එරට තුළ සීනෝර් යාත්‍රාංගනයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවට සහ ධීවර ක්ෂේත්රයට විශාල ජයග්‍රහණයක් වනු ඇති බවද අවධාරණය කළේය.
තවද, උතුරු පළාතේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් රුපියල් මිලියන 150ක වටිනාකමින් යුතු නව යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමේ වගකීමද සීනෝර් ආයතනයට පැවරෙන බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ, 1967 වසරේ සිට ක්‍රියාත්මක වන සීනෝර් ආයතනය මේ වන විට යාත්‍රා 20,000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කරමින් මෙරට බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇති බවයි.
වත්මන් රජය යටතේ ලැබී ඇති ජාත්‍යන්තර පිළිගැනීම උපයෝගී කර ගනිමින් ඉදිරියේදී සීෂෙල්ස්, මැඩගස්කරය ඇතුළු තවත් රටවලට යාත්‍රා අපනයනය කරමින් රටට වැඩි විදේශ විනිමයක් උපයා දීමට ආයතනය සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මොහොමඩ් නව්රාස් නසාර් මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.






