ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නැවුම් අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු අද දින (21 වන දින) පාකිස්ථාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු සහ එළවළු අපනයනය කරන ප්‍රමුඛතම සමාගමක් වන සී ආර් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම (C R Exports (Pvt) Ltd) විසින් මෙම අන්නාසි තොගය අපනයනය කරනු ලබයි.
මෙය පකිස්තානය තුළ ශ්‍රී ලාංකේය නැවුම් අන්නාසි සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස දැක්වෙයි.
මෙම සන්ධිස්ථානය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සහ වාණිජ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සහ සමීප සම්බන්ධීකරණය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DOA) සහ ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් ලබාදුන් වටිනා තාක්ෂණික සහයෝගය ද මූලික වී තිබේ.
මෙම අපනයන අවස්ථාව උදාවූයේ ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන (NPPOs) අතර පැවති දීර්ඝ තාක්ෂණික සාකච්ඡා සහ සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙසය.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ පාකිස්ථාන වෙළඳපොළ වෙත ශ්‍රී ලාංකේය නැවුම් අන්නාසි අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ශාක සෞඛ්‍ය විධිවිධාන (phytosanitary arrangements) ස්ථාපිත කිරීමයි.
මිලියන 252ක පමණ ජනගහනයක් සහිත පාකිස්ථානය, ශ්‍රී ලංකාවේ අන්නාසි සඳහා ඉතා ඉහළ විභවයක් සහිත වෙළඳපොළක් ලෙස දැක්වෙන අතර
පාකිස්ථානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ වටිනාකමකින් යුත් අන්නාසි මෙට්‍රික් ටොන් 2,000–5,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.
දැනට තායිලන්තය සහ පිලිපීනය පාකිස්ථාන වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවන් ලෙස රැඳී සිටියද, ශ්‍රී ලාංකේය අන්නාසිවල ඇති සුවිශේෂී රසය, උසස් ගුණාත්මකභාවය සහ නැවුම් බව මෙන්ම දෙරට අතර පවතින භූගෝලීය සමීපත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම වෙළඳපොළේ වැඩි කොටසක් හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම අපනයන ක්‍රියාවලිය සඳහා අනුමැතිය ලබාදීම සලකා බැලීම වෙනුවෙන් පාකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ (NPPO) කීට විද්‍යා පර්යේෂකයකු වන මොහොමඩ් අකීඩ් මහතා (Mr. Mohammad Aqeed) මෙරටට පැමිණ තෝරාගත් අන්නාසි වගාබිම් සහ ඇසුරුම් මධ්‍යස්ථාන පරීක්ෂා කර විගණනයකට ලක් කර තිබේ.
ඒ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයන්හිදී රැස්කරගත් තොරතුරු සහ සොයාගැනීම් පදනම් කරගනිමින් පාකිස්ථානය තුළ සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) මඟින් නිකුත් කරනු ලබන ශාක සෞඛ්‍ය සහතිකයක් (Phytosanitary Certificate) ලබාදීමට යටත්ව ශ්‍රී ලංකාවෙන් නැවුම් අන්නාසි ආනයනය කිරීම සඳහා පාකිස්ථාන බලධාරීන් විසින් අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන සියලුම නැවුම් අන්නාසි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතික ලත් වගාබිම්වලින් ලබාගන්නා බව සහතික කරන අතර, අදාළ නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (DoA) නිසි පරිදි ලියාපදිංචි වී සිටිය යුතු වනවා.
2025 වසරේදී අන්නාසි නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ ආදායමක් උපයා තිබෙනවා.
එබැවින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන පුළුල් කිරීමට සහ 2030 වසර සඳහා වන රටේ අපනයන ඉලක්ක සපුරා ගැනීමට පකිස්තානය වැනි නව වෙළඳපොළවල් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වනවා.
අන්නාසිවලට අමතරව ඉදිරියේදී අලිගැටපේර සහ දොඩම් (Oranges) ඇතුළු අනෙකුත් කෘෂි නිෂ්පාදන ද පකිස්තාන වෙළඳපොළට හඳුන්වා දීම සඳහායි අවස්ථා ගවේෂණය කිරීමේ උත්සාහයන් ද ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.
මෙම නව වෙළඳ අවස්ථාව මගින් පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ (PSFTA) ප්‍රතිලාභ උපරිමයෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, මින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනවා.






