බන්ධනාගාර තුළ ඇතිවිය හැකි ගැටලු කලින් හඳුනාගැනීම, හදිසි අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය මුල්කරගනිමින් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ.
මෙම යාන්ත්‍රණය පිහිටුවීම සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්විණි.
බන්ධනාගාර ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය සහාය කඩිනමින් ලබාගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මේ අතර, බන්ධනාගාර තුනේ කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින රැඳවියන් හමුවූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඔවුන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව මාස දහයක අධ්‍යයනයකින් අනතුරුව සිය වාර්තාව භාරදී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
එම වාර්තාව මගින් ජනාධිපති සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම ලබන සිරකරුවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා පරිවර්තනය කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීම සහ නිවාස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කාන්තා සහ පිරිමි රැඳවියන්ගේ ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ අතර, එම වාර්තා කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් එක්විය.






