/ Aug 26, 2026

නේපාලයට බලපෑ හදිසි ගංවතුරෙන් 400ක් අතුරුදහන්. 291ක් විදෙස් සංචාරකයින්.ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් නැහැ!

නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයට අති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් 400ක් පමණ අතුරුදහන් වී ඇති අතර ඉන් 291ක් විදේශිකයින් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගංවතුර ආපදාව හේතුවෙන් මේ වන විට මරණ අවම වශයෙන් 31ක් වාර්තා වී ඇති බවද දැක්වෙයි.

නේපාල සංචාරක මණ්ඩලය පවසන පරිදි අතුරුදහන් වී ඇති සංචාරකයින් අතරින් දැනට තහවුරු කරගෙන ඇති තොරතුරු අනුව ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 100කට වැඩි පිරිසක් මෙන්ම එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයින් 12 දෙනෙකුත් දකුණු කොරියාවේ සිට පැමිණි සංචාරකයින් අතරින් 08 දෙනෙකුත් සිටින බව සඳහන්.

දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබෙන අතර ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරයි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙලෙස විනාශකාරී ජල ගැලීමක් හටගෙන ඇති අතර, එමගින් පහළ ප්‍රදේශ වෙත හදිසි ජල කඳක් මුදා හැරුණි.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව සඳහන් වෙයි.

මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා වෙයි.

ටිබෙටයේ CCTV මගින් දේශසීමා හරස් මාර්ගයක ගොඩනැගිලිවලට ජලය සහ මඩ බිත්තියක් ගැටෙන බව පෙන්වයි – නේපාලයේ අනෙකුත් ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ ගංවතුර ඉහළ යන විට පලා යාමට උත්සාහ කරන පුද්ගලයින්ය.

මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top