අසමානතාව ගැන වූ සාකච්ඡාවේදී ඕනෑම කෙනෙකුට පළමුව කල්පනාවට එන්නේ ධනයයි. එසේත් නැත්නම් ආදායමයි. එසේත් නැත්නම් තම ජීවන ගමනේ දී අහිමි වූ සමාජ අවස්ථායි. එහෙත් අද වනවිට එය ඉන් ඔබ්බට බොහෝ සංකීර්ණ වී තිබේ. මේ මොහොතේ මුළු ලොවක ඇස් යොමුව තිබෙන නේපාල ඛේදවාචකය වනාහි එකී ලෝක අසමානතාවයේම කුරිරුතම ඵලයකි. සිදුව ඇති ඛේදවාචකයේ විපතේ තරම ගණනය කරන අතරේම මේ අසමානතාව ගැන අවධානය යොමුකළ යුතු යැයි නේපාලයේ කීර්තිමත්ම පුවත්පතක් වන ‘කත්මන්ඩු පෝස්ට්’ කතුවරයා සටහනක් තබා තිබුණේ ඒ නිසාය.
කත්මන්ඩු පෝස්ට් අවධාරණය ඊයේ අපි ‘ලංකා ටයිම්ස්’ හි පුවතක් ලෙස වාර්තා කළෙමු. සැබැවින්ම මේ අවනඩුව ගැන කරුණු සහිතව කල්තියා වාර්තා කෙරුණේ මීට මාස ගණනාවකට පෙරය. ඒ උදරකා ෂබැුම්කසඑහ ඍැචදරඑ 2026 හෙවත් ලෝක අසමානතා වාර්තාව 2026 මගිනි. ආදායම, ධනය සහ සමාජ අවස්ථාවලින් ඔබ්බට ගොස් දේශගුණික විපර්යාසය අසමානතා පද්ධතියේ කොටසක් වන්නේ කෙසේදැයි එහි මනරම්ව විස්තර කර තිබුණි. සැබැවින්ම ගෝලීය උණුසුම, ගංවතුර, නියඟය, උෂ්ණත්ව තරංග සහ ආහාර අනාරක්ෂිතතාව යනු සියලු දෙනාටම එකසේ බලපාන ස්වාභාවික සංසිද්ධි නොවේ. ඒවාට වැඩි වශයෙන් හේතු වූ ජන කණ්ඩායම් සහ එහි දරුණුම ප්‍රතිවිපාකවලට මුහුණදෙන ජන කණ්ඩායම් බොහෝ විට එකම අය නොවීම අද ලෝකය මුහුණදෙන ප්‍රධාන සදාචාරාත්මක හා දේශපාලනික ගැටලුවකි.
ලෝක අසමානතා වාර්තාව මගින් පෙන්වා දෙන ගෝලීය ආදායම් හා ධන සංකේන්ද්‍රණය මෙම ප්රශ්නය තේරුම් ගැනීමට මූලික පසුබිමක් සපයයි. ලෝකයේ ඉහළම ආදායම් ලබන සියයට 10 කණ්ඩායම ඉතිරි සියයට 90ට වඩා විශාල ආදායම් කොටසක් අත්පත් කරගෙන සිටින අතර, ලෝක ධනයෙන් විශාල කොටසක් ද සුළු පිරිසක් සතුව සංකේන්ද්‍රණය වී ඇත. එහෙත් දේශගුණික අර්බුදයේදී මෙම ආර්ථික අසමානතාව තවත් අසාධාරණ තත්ත්වයකට පරිවර්තනය වේ. අධික පරිභෝජනය, විශාල නිවාස, පුද්ගලික ප්‍රවාහනය, ගුවන් ගමන් සහ කාබන්-අධික ආයෝජන මගින් සාමාන්‍යයෙන් වැඩි කාබන් විමෝචනයකට දායක වන්නේ ඉහළ ආදායම් හා ධනවත් කණ්ඩායම්ය. එහෙත් එහි ප්‍රතිවිපාක දරුණු ලෙස දැනෙන්නේ කාටද? අඩු ආදායම්ලාභීන්, කුඩා ගොවීන්, ධීවරයන්, කම්කරු ජනතාව සහ දුප්පත් රටවල ජනතාවටය.
මේ නිසාම දේශගුණික විද්‍යාඥයන් සහ අසමානතාව පිළිබඳ පර්යේෂකයන් අවධාරණය කරන්නේ ‘කාබන් අසමානතාව’ ගැන කතා නොකර දේශගුණික යුක්තිය ගැන කතා කළ නොහැකි බවයි. ඉහළම ආදායම් කණ්ඩායම්වල පරිභෝජන රටා විමෝචනය වැඩි කරන නමුත් පහළ ආදායම් කණ්ඩායම්වල ජනතාවට ආරක්ෂිත නිවාස, රක්ෂණය, සෞඛ්‍ය සේවා, ඉතුරුම් හෝ ආපදාකාලීනව වෙනත් ස්ථානයකට යාමට අවශ්‍ය සම්පත් නොමැත. එබැවින් එකම ගංවතුරකදී ධනවතාට සිදුවන්නේ දේපළ හානියක් පමණක් විය හැකි නමුත්, දුප්පතාට රැකියාව, නිවස, ආහාර සුරක්ෂිතතාව සහ දරුවන්ගේ අධ්‍යාපනය පවා අහිමි විය හැකිය. මේ අර්ථයෙන් දේශගුණික විපර්යාසය පවතින අසමානතාව හෙළිදරව් කිරීම පමණක් නොව, එය පරම්පරා ගණනාවක් දක්වා තවදුරටත් ගැඹුරු කරන බලවේගයකි.
මෙහිදී තවත් වැදගත් විවේචනයක් වන්නේ දේශගුණික ප්‍රතිපත්ති පවා සමහර අවස්ථාවල අසමානතාව වැඩි කළ හැකි බවයි. ඉන්ධන බදු, විදුලි ගාස්තු වැඩිකිරීම් හෝ පරිසර හිතකාමී සංක්‍රාන්තිය සඳහා වන වියදම් සාධාරණ ලෙස බෙදා නොගතහොත් එහි බර වැඩි වශයෙන් වැටෙන්නේ දුප්පත් ජනතාව මතය. එබැවින් ‘හරිත සංක්‍රාන්තියක්’ පමණක් ප්‍රමාණවත් නොවේ. එය සාධාරණ හරිත සංක්‍රාන්තියක් විය යුතුය. පොසිල ඉන්ධනවලින් ඉවත්වීමේ ප්රතිලාභ මෙන්ම එහි පිරිවැය කවුරුන් විසින් දරනු ලබන්නේද යන්න දේශගුණික ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් විය යුතුය.
මේ පසුබිමෙහි විශේෂඥයන් යෝජනා කරන ප්‍රධාන විසඳුම් කීපයක් නම් ඉහළ විමෝචන සහ අධික ධනය මත වඩාත් ප්රගතිශීලී බදු පැනවීම, එම ආදායම දේශගුණික අනුවර්තනය සඳහා යොදාගැනීම, පොදු ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය, නිදහස් හෝ ගුණාත්මක සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සඳහා රාජ්‍ය ආයෝජනය වැඩි කිරීම සහ දුප්පත් රටවලට දේශගුණික මූල්‍ය පහසුකම් සැපයීමය. දේශගුණික අර්බුදයට මුහුණදීමේ බර දුප්පත් රටවල ජනතාව මත පමණක් පැටවීම වෙනුවට, ඓතිහාසිකව සහ වර්තමානයේ වැඩි විමෝචනයකට දායක වූ රටවල් හා කණ්ඩායම් වැඩි වගකීමක් භාරගත යුතුය.
ශ්‍රී ලංකාව වැනි රටකට මෙම සාකච්ඡාව විශේෂ වැදගත්කමක් දරයි. ඒ දේශගුණික විපර්යාසයෙන් ඇතිවන ගංවතුර, නියඟය සහ කෘෂිකාර්මික හානි ගැන වූ සාකච්ඡාවක දැනටමත් අප රටක් හැටියට සිටින නිසාය. දැනටමත් ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට එමගින් එකතු කරන්නේ අතිරේක බරකි. එබැවින් දේශගුණික ප්‍රතිපත්තිය පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රශ්නයක් ලෙස පමණක් නොව, ආදායම් යුක්තිය, සමාජ ආරක්ෂාව සහ ආර්ථික ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසද සැලකිය යුතුය. එහෙත් ලංකාවේ සමකාලීන සාකච්ඡාව තවමත් තිබෙන්නේ හුදු ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලන විවාදයක තැනකය. වඩා පුළුල් අර්ථයක් ඊට ලබාදීමට නොහැකි වීම ගැන දේශපාලකයන් මෙන්ම ජනමාධ්‍ය ද වගකිව යුතුය.
ලෝක අසමානතා වාර්තාව 2026 මතුකරන මූලික පණිවිඩය වැදගත් වන්නේ මේ පසුබිමේය. අසමානතාව අඩු නොකර දේශගුණික අර්බුදයට සාධාරණ විසඳුමක් ලබාදිය නොහැකි බවට එහි දැක්වෙන දත්ත එහිදී වැදගත්ය. ලෝක ජනගහනයේ දුප්පත්ම අඩකගේ පෞද්ගලික ප්‍රාග්ධන හිමිකාරිත්වය හා සම්බන්ධ කාබන් විමෝචන ගෝලීය විමෝචනවලින් 3%ක් පමණක් වෙද්දී ඉහළම 10%ක පිරිස එවැනි විමෝචනවලින් 77%කට වගකිව යුතු බව වාර්තාව පවසයි. තවද ඊට අනුව ධනවත්ම 1%ක පිරිස පමණක් පෞද්ගලික ප්‍රාග්ධන හිමිකාරිත්වය හා සම්බන්ධ විමෝචනවලින් 41%ක් වැනි විශාල පංගුවකට වගකිව යුතුය. එය ලෝකයේ පහළම 90%ක ජනතාවගේ ඒකාබද්ධ විමෝචන ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න වීමෙන් ඉලක්කමේ නපුර පැහැදිලි වනු ඇත.
දේශගුණික විපර්යාසය පාලනය නොකර සමාජ අසමානතාව අඩු කිරීම දුෂ්කර බව තේරුම් ගැනීමට මේ ඉලක්කම් වැදගත් වන බව කීවේ එහෙයිනි. ඒ අනුව මේ දෙක වෙන වෙනම අර්බුද නොව, එකිනෙක පෝෂණය කරන එකම ගෝලීය අර්බුදයේ පැති දෙකකි. ඒ නිසා ලෝකයේ අනාගතය තීරණය කරනු ඇත්තේ කාබන් විමෝචනය කොපමණ අඩු කරන්නේද යන්න පමණක් නොව, එම සංක්රාන්තියේ බර සහ ප්රතිලාභ කෙතරම් සාධාරණ ලෙස බෙදාගන්නේද යන්න මතය. එවැනි සාකච්ඡාවකට ලංකාවේ පොදු සමාජය හා දේශපාලන විවාදය කෙතරම් දුරකට සූදානම්ද යන්න මේ මොහොතේ ප්‍රධාන ගැටලුවකි.
මානෙල් ඩේවිඩ්






