ගාසා තීරයේ දරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඊශ්‍රායල හමුදා මර්දනයට සහ ඝාතනවලට එරෙහිව පලස්තීන දරුවන් වෙනුවෙන් සහයෝගීතාවය පළ කිරීමේ සරුංගල් යැවීමේ විශේෂ වැඩසටහනක් සැප්තැම්බර් 12 වන දින සවස 4.00 ට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. Free Palestine Movement විසින් මෙම විරෝධතා සහ සහයෝගීතා වැඩසටහන සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන සංවිධායකයින් පෙන්වා දෙන්නේ ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් මිලියනයකට ආසන්න පිරිසක් දරුවන් වන අතර, වත්මන් ඊශ්‍රායල පාලනය විසින් එම දරුවන්ට සරුංගල් සහ බැලුන් යැවීම පවා තහනම් කර ඇති බවයි.
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවන් තුළ පවා ඊශ්‍රායල හමුදාව ඩ්‍රෝන සහ ස්නයිපර් ප්‍රහාර මගින් දිනකට අවම වශයෙන් එක් දරුවෙකු හෝ ඉලක්ක කර හිතාමතාම ඝාතනය කරන බවට සංවිධායකයින් චෝදනා කරයි. දරුවන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරගැනීම සඳහා ඊශ්‍රායලය විසින් මෙවැනි අසාධාරණ නීති සහ තහනම් පනවමින් සිටින බවද ඔවුහු පවසති.
මෙම අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව අද දින පලස්තීන ජනතාව වෙනුවෙන් හඬක් නැඟීම සමස්ත මානව වර්ගයාගේම අනාගත ආරක්ෂාව වෙනුවෙන් තබන පියවරක් බව පෙන්වා දෙන නිදහස් පලස්තීන ව්‍යාපාරය, ලබන සැප්තැම්බර් 12 වනදා සවස 4.00 සිට 6.00 දක්වා ගාලු මුවදොර පිටියට පැමිණ “පලස්තීනය වෙනුවෙන් සරුංගල් ගුවනට” (Kites for Palestine) වැඩසටහන හා එක්වන ලෙස ශ්‍රී ලාංකික පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි.






