/ Sep 11, 2026

ඇතුළට ගිය හිටපු ඇමති ප්‍රියංකරට තව නඩුවක්!

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් දූෂණ චෝදනා ඇතුළත් නඩුවක් සඳහා අද (11) ඔහුව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2013 වසරේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අනීතික ලෙස වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් එම 128,520 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස විමර්ශනයට සම්බන්ධ වූ නිලධාරියකු එක් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වා තිබුණේ මෙම නඩුවේ විභාගය අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ අලුතින් සාක්ෂිකරුවන් එක් කිරීමට අනුමැතිය පැතීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල කියා සිටියේ අදාළ විමර්ශන නිලධාරියා මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එක් කර ගැනීමට අවසර දෙන දෙන බවයි.

ඒ අනුව අදාළ සාක්ෂිකරු මාර්ගයෙන් අධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒවා අද දින සිට සතියක් තුළ විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top