ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship) හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 91.09ක ප්‍රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
මෙරට වේලාවෙන් ඊයේ (13) රාත්‍රි 9.43ට තරග බිමට පිවිසි රුමේෂ් තරංග, සිය අතිවිශිෂ්ට දක්ෂතාවය පෙන්නුම් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත් අතර
දෙවන ස්ථානය දිනාගත් ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර් 4.91ක ස සැලකිය යුතු පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත් රුමේෂ් තරංග, ජර්මනියේ ජුලියන් වෙබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් අභිබවා යමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කළේය.
මෙම ඉසව්වට වසරේ මේ දක්වා ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා වන්නේ ද රුමේෂ් තරංගයි.
23 හැවිරිදි ඔහු 2026 රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දැක්වන ලදී.






