/ Sep 15, 2026

ඉතාලි රජයේ රැකියා සඳහා තෝරාගත් පිරිසගේ සිහින බොඳ වෙලා!

ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතාවයකින් ක්‍රියාත්මක කරන ලද හෝටල් සහ ‘කෙයා ටේකර්’ ක්ෂේත්‍රවල ඉතාලියේ රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ ලාංකික පිරිමි 85 කට තවමත් එම අවස්ථාව නොලැබී ඇතැයි ඉතාලි මිතුරු එකමුතුවේ ලේකම් ඩී. ජී අමිල ප්‍රසංග මහතා ලංකා ටයිම්ස් වෙත පැවැසීය.

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ඉතාලි රැකියා සඳහා කාන්තා පිරිස සහ පිරිමි පිරිස තෝරාගත් බවත් එමගින් විභාගය සමත් වූ කාන්තා 185 ක් සහ පිරිමි 86 දෙනෙක් මේ සඳහා සුදුසුකම් සපුරන ලදැයි ඔහු කීවේ ය.

තෝරාගත් කාන්තාවන් 185 ක පිරිස මේ වනවිට ඉතාලියට ගොස් ඇති නමුත් පිරිමි 86 දෙනාට තවමත් ඉතාලියට යෑමට නොහැකි වී බව ඔහු සඳහන් කළේ ය.

ඉතාලියේ කම්කරු දෙපාර්තමේන්තුව (Lavora) මගින් සමත් වූ පිරිමි පිරිසෙනුත් 7 කගේ නිශ්කාෂණ කටයුතු අවසන් වී ඇති බවත් එසේ නිශ්කාෂණ අවසන් වූ පිරිසට ඉතාලියේ රෝම් (Rome) නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අකාර්යක්ෂමතාවය නිසා එය තවමත් ප්‍රමාද වී ඇති බවට එම ලේකම්වරයා චෝදනා කළේය.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මීට පෙර සේවයේ සිටි නිලධාරිණිය වන අමිනා ශාපී නම් නිලධාරීනිය විසින් එම නිශ්කාෂණය වූ 85 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික පිරිමි පිරිස අතරින් එක් පුද්ගලයෙකුට ඉතාලියට යෑමේ අවස්ථාව සලසා දෙන ලද බවත් ඔහු මේ වනවිට ඉතාලියට ගොස් වසර දෙකක් ගත වී තිබෙන බවත් අමිල ප්‍රසංග මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැටලුව මෙම වසරේ(2026) තුළ දෙවරක් පාර්ලිමේන්තුවේදී හඬ නැගුණු මාතෘකාවක් වූ බවයි.

මීට පිළිතුරක් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම ගැටලුව පිළිබඳ සෙවීමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිලධාරින් පත්කර යවන ලදැයි ද ඔහු කීවේය.

ඉතාලි මිතුරු එකමුතුව ඉල්ලා සිටින්නේ මෙම කටයුත්ත හැකි ඉක්මනින් අවසන් කර වහාම ලාංකික පිරිමි 85 ඉතාලිය වෙත යැවීමට කටයුතු කරන ලෙසයි.

  • සචිත්‍ර පෙරේරා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top