මව්බිම පුවත්පතේ කතෘ මාණ්ඩලික රවිශාන් ප්‍රනාන්දු එහි තවමත් සේවකයෙක් බවත් ඔහුව සේවයෙන් ඉවත් කර නැති බවත් සිලෝන් නිවුස් පේපර්ස් පාලනඅධිකාරිය කොළඹ 08 කම්කරු විනිශ්චය අධිකාරියට අද (15) දැනුම් දී ඇත.
ඒ තමාව සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමට අයත් ‘මව්බිම’ පුවත්පත අනීතික ලෙස සේවයෙන් ඉවත් කළ බවට මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු මහතා එම අධිකරණයේ දී ඉදිරිපත් කළ නඩුව දෙවන දිනටත් කැඳවූ අවස්ථාවේදී ය.
වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නේ සිය සමාගම වැටුප් ගෙවීම් කරන බවත් සේවකයන්ට නිවසේ සිට රාජකාරී කිරීමට වගකීම් පවරා ඇති බවත් ය.
එම කරුණු අසත්‍ය බව ප්‍රකාශ කරමින් ප්‍රතික්ෂේප කළ මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු අධිකරණයේදී ‘1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ ආඥා පනතේ ) 31 (ආ)iii. උපුටා දක්වමින් සඳහන් කළේ
“වේතන ගෙවිය යුතු කාල සීමාව සති දෙකකට වඩා දීර්ඝ වූ කල්හි එම කාල සීමාව ඉක්ම ගොස් දින දහයක් ඇතුළත ගෙවිය යුතු වන්නේ ය”
එම පනත අනුව සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම වැටුප් නොගෙවා පැහැර හරින බව මාධ්‍යවේදීයා අධිකරණයට කරුණු දැක්වීය.
මේ අතර තමාව ආයතන පරිශ්‍රයට ඇතුල්කර නොගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සියලු සාක්ෂි තමා සතු බවත් මව්බිම සභාපතිවරයාට තමා ලියන ලද ලිපිය ද අධිකරණයට මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් කියා සිටියේ ය.
මේ අතර එම නඩු විභාගයට අද දින ඔහුගේ පාර්ශ්වයට නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර රවිශාන් ප්‍රනාන්දු මාධ්‍යවේදියා තමා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
මීලඟ නඩු විභාගය ඔක්තොබර් 12 දිනට කල් තබා ඇත.






