රත්නපුර ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයෙකු වන එම්. චන්ද්‍රකුමාර් මහතා දේශපාලන කටයුතු වෙත පිවිසියේ, මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ (ප්‍ර.ජ.පෙ.) ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසිනි. ඒ පාසල් සමයේ පටන් ය.
නිවිතිගල, ඇලපාත, රඹුක්කන්ද වත්තේ උපත ලබා වර්තමානයේ රත්නපුර පොම්ප කැලේ පදිංචිව සිටින චන්ද්‍රකුමාර් මහතා රඹුක්කන්ද දෙමළ විද්‍යාලයෙන් සහ රත්නපුර දෙමළ මහා විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබා, ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ අධ්‍යාපනයෙන් පසු ගුරුවරයෙකු ලෙස සිය රාජ්‍ය සේවය ආරම්භ කළේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කලා උපාධියක්ද ශ්රාස්ත්රාලීය අධ්‍යාපනයේදී ලබා ඇති ඔහු වර්තමානයේ ශාස්ත්‍රපති (M.A.) උපාධියක් සඳහා ද අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියි.
ශිෂ්‍ය අවධියේදී, එනම් 2003 වසරේදී ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණට සම්බන්ධ වූ ඔහු එතැන් සිට මේ දක්වා අඛණ්ඩව දේශපාලනයේ නිරත වේ. 2007 වසරේදී ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ඇරඹූ ඔහු, එවකට මලයහ ප්‍රජාව අතරින් බඳවාගත් උසස් පෙළ සමත් ගුරුවරුන් 300ක් පමණ පිරිසක් එකතු කර ගුරු සමිතියක් බිහි කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය ගැටලු වෙනුවෙන් පෙනී සිටියේය.
විදුහල්පතිවරයෙකු ලෙස ද සේවය කර ඇති ඔහු, පසුව එම තනතුරෙන් ඉල්ලා අස්වී මැතිවරණ තරඟ බිමට පිවිසියේය. 2010 මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යටතේ තරඟ කළ ඔහු, 2012 වසරේදී මලයහ ජනතා පක්ෂ අතර සන්ධානයක් ගොඩනගමින් ප්‍රජා නියෝජනයක් වෙනුවෙන් තරඟ කළේය. අනතුරුව 2015 මහමැතිවරණයේදී 30,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූ අතර, 2020 දී සුළු ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය අහිමි වුවද 2024 මැතිවරණයේදී ද 17,000 ක පමණ ඡන්ද පදනමක් රඳවා ගැනීමට සමත් විය. කාලයක් නියෝජ්‍ය ඇමති ධුර දැරූ දේශපාලනඥයන්ට වඩා ඡන්ද ලබා ගැනීමට සමත් වූ බවද ඔහු පෙන්වා දෙයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ මලයහ ප්‍රජාව 80,000ක් පමණ ජීවත් වුවද, කාලයක් තිස්සේ ඔවුන් නියෝජනය පිණිස ඍජු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොමැති තත්ත්වයක් තිබේ. කෙසේ වෙතත්, මලයහ ප්‍රජාවට ද මැතිවරණයක් ජයගත හැකි විභවයක් පවතින තමන් පෙන්වා දී ඇති බව ඔහු සඳහන් කරයි. වර්තමානයේ රත්නපුර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඔහුගේ මිතුරෙකු වුවද ඔහු ඍජු මලයහ ජනතා නියෝජිතයෙක් නොවන බව හෙතෙම පෙන්වා දෙයි. ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වන මුත්, එය පූර්ණ මලයහ නියෝජනයක් ලෙස සැලකිය නොහැකි බව චන්ද්‍රකුමාර් මහතා අවධාරණය කරයි. ප්‍රදීපන් මන්ත්‍රීවරයාගේ ජය පිටුපස ඇත්තේ බහුතර සිංහල ඡන්ද පදනමක් බව එහිදී ඔහු පෙන්වා දෙයි.
ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කිරීමේදී වර්තමානයේ දැඩි පරිපාලනමය ගැටලුවලට මුහුණ දෙන බව ඔහු පවසයි. විපක්ෂයේ පිරිසක් එකතුවී බලය පිහිටුවා තිබීම නිසා පළාත් සභා හෝ මධ්‍යම රජයෙන් කිසිදු ප්රතිපාදනයක් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති අතර, ප්‍රාදේශීය සභාවේ සීමිත ආදායමෙන් පමණක් සියලු කටයුතු පවත්වාගෙන යාමට සිදුව තිබේ. ආණ්ඩුකාරතුමිය ධනාත්මකව මැදිහත් වුවද, ඇතැම් අවස්ථාවලදී එම ප්රතිලාභ ලැබීමට පවා විවිධ බලපෑම් එල්ල වන බව ඔහු පෙන්වා දෙයි.
පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ පළමු වතාවට යෝජනාවක් ඉදිරිපත් කර, ජාතික ජනබලවේගය පක්ෂ මන්ත්‍රීවරුන්ගේද එකඟතාවයෙන් එය සම්මත කරගනිමින් ආණ්ඩුකාරවරියට සහ මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කිරීමට ඔහු කටයුතු කර තිබීම විශේෂත්වයකි.
වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සපිරෙන මෙම වකවානුවේ, ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හැඳින්වූ එම ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීම අත්‍යවශ්‍ය ම ඉලක්කය බව චන්ද්‍රකුමාර් මහතා අවධාරණය කරයි. යහපාලන සමයේ නිවාස 6,000ක් ඉදිකිරීමට කටයුතු කළ බව සිහිපත් කරන ඔහු, වර්තමාන ආණ්ඩුව ‘හැටන් ප්රකාශනය’ ගෙන ආවද තවමත් විශාල මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැති බව පවසයි. මලයහ වැටුප් ප්රශ්නය බහුතරයේ ප්රශ්නය නොවන බවත් ඉඩම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන සහ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වතුකරයේ බහුතර ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.





