/ Sep 16, 2026

“අතුරුදන් වෙන්නෑ – පලා යන්නෑ” – ඥානසාර හිමි කියයි

2018 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 6ක සිරදඬුවම් නියම වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, 2019 මැයි මස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ජනාධිපති පොදු සමාව 2026 සැප්තැම්බර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලැබුවේ ය.

කෙසේ වෙතත්, තීන්දුවෙන් පසු බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය නාවල පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානයට ගියද, උන්වහන්සේ එහි රැඳී සිට නැත. විහාරස්ථානයේ අනෙක් හිමිවරුන් ප්‍රකාශ කර ඇත්තේ උන්වහන්සේ සිටින ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බවයි. ඥානසාර හිමියන් අතුරුදන්ව ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය.

ඒ අතර ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණය හමුවේ අද (16) පෙනී සිට ඇත්තේ 2014 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉස්ලාම් දහමට සහ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම මඟින් මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම් රිදවූයේ යැයි කියන චෝදනාවට අදාළ නඩුවකටයි. මෙම නඩුව ලබන මස 30 වැනි දාට කල් තබනු ලැබ තිබේ.

ඒ අතර මාධ්‍යවේදියෙකු වෙත අධිකරණ සංකීර්ණයෙදී අදහස් දැක්වූ ඥානසාර හිමි පැවසූයේ නීතියට හිස නමන බවත්, අතුරුදන් වන්නට හෝ පලා යන්නට බියගුලු නැති බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top