පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ අද (26) අලුයම 4ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඉන් බරපතළ තත්ත්වයෙන් සිටි තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර එලෙස එලෙස බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් සේවකයෙක් මිය ගොස් ඇත.
රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවීමකින් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙය සිදුවන්ට ඇති බවට සැකකෙරෙයි.
ඒ පිළිබඳව විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්ද යොදවා තිබේ.
පිපිරීම හේතුවෙන් අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුව තිබුණි.
පිපිරීම සිදුවන අවස්ථාවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නොමැති අතර ඔවුන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යව ඇත.






