/ Sep 26, 2026

ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළට – ආසාදිතයින් 99,000 ඉක්මවයි!

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 77ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 99,634ක් වන අතර, මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

එමෙන්ම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.53% වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 52,340කි.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව රෝගීන් 21,136ක් ලෙස දැක්වෙයි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,569 ක්ද, මහනුවරින් 7,547 ක්ද, කළුතරින් 6,339 ක්ද සහ මාතරින් 6,273 ක්ද වාර්තා වී ඇත.

මේ අතර ඩෙංගු ‍රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි.

එමෙන්ම ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක් ලෙස වාර්තා වී තිබේ.

සැප්තැම්බර් මාසයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 4,144කි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති අතර සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top