හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), සිය නව තටාකංගන දොඹකර (quay cranes) ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ 2025 සිට මේ දක්වා හැසිරවූ සමස්ත කන්ටේනර් ප්‍රමාණය (TEUs) මිලියනයක සීමාව ඉක්මවා ගොස් ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව වසර 2 හි එකතුව බහාලුම් ඒකක 1,002,232ක් දක්වා ඉහළ ගොස් ඇත.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් සඳහන් කර ඇත්තේ, මෙම කඩඉම හම්බන්තොට වරාය ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා සේවා සපයන තරඟකාරී බහාලුම් වරායක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බවයි.
නැව් සමාගම් සමග සමීපව කටයුතු කිරීම, මෙහෙයුම් විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික අවශ්‍යතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම වර්ධනයට හේතු වී ඇති බවද සඳහන් කර තිබේ.
2026 වසරේ අප්‍රේල් මාසයේදී MSC Marie Leslie නෞකාව හරහා බහාලුම් ඒකක 13,260ක් හසුරුවමින් එක් නෞකාවකින් හසුරුවන ලද වැඩිම බහාලුම් ප්‍රමාණය වාර්තා කර තිබෙන අතර ජූනි මාසයේදී වරායේ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික බහාලුම් ප්‍රමාණය ලෙස බහාලුම් ඒකක 80,325ක් හසුරුවා ඇත.
බහාලුම් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව දොඹකර, නැව් නැංගුරම් පහසුකම්, බහාලුම් අංගන සහ ශීතකරණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි.
ඒ අනුව නව දොඹකර 6ක් සහ ගැන්ට්‍රි දොඹකර 16ක් ලබාගැනීමට සැලසුම් කර ඇති අතර, එම පුළුල් ආයෝජන වැඩසටහනේ වටිනාකම අමෙරිකානු ඩො.මි 108කි. එම උපකරණ 2027 පෙබරවාරි මස අවසානය වන විට මෙහෙයුම් සඳහා යොදාගැනීම අපේක්ෂාවයි.
නව පහසුකම් ක්‍රියාත්මක කිරීමෙන් තවත් මීටර් 1,300ක නැව් නැංගුරම් ඉඩකඩක් භාවිතයට ගැනීමට හැකි වන අතර, එමගින් වරායේ සමස්ත බහාලුම් නෞකා තීරයේ දිග කිලෝමීටර් දෙකකට ආසන්න වනු ඇති.
එමෙන්ම බහාලුම් අංගනයද සියයට 30කින් පුළුල් කිරීමටද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සැලසුම් කර තිබේ.
ආයෝජන හරහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව බහාලුම් ඒකක මිලියන 2ක් දක්වා ඉහළ නැංවීම දිගුකාලීන ඉලක්කයයි.




