2026/2027 වර්ෂය සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන නව ප්රතිලාභ රැසක් සමඟ ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබේ.
ඒ අනුව, 2026 සැප්තැම්බර් 01 වැනිදා සිට 2027 අගෝස්තු 31 වැනිදා දක්වා කාලසීමාවට අදාළව, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය හා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් අතර පවතින ගිවිසුම සංශෝධනය කර මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
නව ප්රතිලාභ යටතේ කර්ණශංඛ උපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් 75,000ක් දක්වාත්, නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත ප්රදාහක ආතරයිටිස් රෝග සඳහා දිගුකාලීන ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වාත් ප්රතිලාභ හිමි වේ.
එසේම, සමේ පිළිකා ඇතුළු නිශ්චිත රෝග තත්ත්ව හඳුනාගැනීමේ පරීක්ෂණ, ඔස්ටියෝපොරෝසිස් පරීක්ෂණ සහ හෙපටයිටිස් B, හෙපටයිටිස් C හා HIV පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
පිළිකා ප්රතිකාර හා ඊට අදාළ පරීක්ෂණ, PET ස්කෑන් පරීක්ෂණ සහ හදිසි අනතුරු හේතුවෙන් සිදුකරන උකුල්, උරහිස් හා දණහිස් සන්ධි ප්රතිස්ථාපන ශල්යකර්ම සඳහා ද අදාළ රක්ෂණ ආවරණය පුළුල් කිරීමට යෝජනා කර තිබේ.
තවද, අධ්යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන අධ්යාපන චාරිකා, ක්රීඩා උත්සව ඇතුළු ක්රියාකාරකම්වලදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් සිසු ජීවිත හානි සිදුවුවහොත්, රුපියල් 100,000ක ප්රතිලාභයක් ලබා දීමට ද නියමිතය.
මෙම නව ප්රතිලාභ ඇතුළත් කර සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්රියාත්මක කිරීම පිළිබඳව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය ලෙස අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අමාත්ය මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර, ඒ සඳහා අමාත්ය මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබේ.





