/ Oct 21, 2026

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්!

වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා නොවැම්බර් 02 වැනිදා සිට 08 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවයි.

පසුගිය ජුනි සහ ජූලි මාසවලදී රට ඩෙංගු අධි වසංගත තත්ත්වයකට මුහුණ දුන් බවත්, එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ වන විටත් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු සඳහන් කළේය.

පසුගිය ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,500ක් වාර්තා වූ අතර, ජූලි මාසයේදී එම සංඛ්‍යාව 29,967ක් දක්වා ඉහළ ගොස් තිබුණි. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී රෝගීන් සංඛ්‍යාව 10,155ක් දක්වාත්, සැප්තැම්බර් මාසයේදී 5,130ක් දක්වාත් අඩු කර ගැනීමට හැකිව තිබේ.

එළඹෙන ඊසාන දිග මෝසම් වැසි සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ජීවන චක්‍රයට අවශ්‍ය ජලය පරිසරයේ එක්රැස් වීමේ හැකියාව පවතින බැවින්, වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද කන්නන්ගර මහතා පෙන්වා දෙන ලදී.

මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වී නොමැති නමුත් මීට පෙර අධි වසංගත තත්ත්වයක් ඇති වූ පසුබිමක මර්දන කටයුතු ආරම්භ කිරීමට සිදු වූ අතර මෙවර කල්තියා පරිසරය පිරිසිදු කිරීම ඇතුළු අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් රෝගීන් සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට හැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය.

නිවාස පරිශ්‍රවලට අමතරව රාජ්‍ය ආයතන, කර්මාන්තශාලා සහ වැඩබිම් ආශ්‍රිතවද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින් එම පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වයන් අවධානය යොමු කළ යුතු බවදටද උපදෙස් නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top