දිවයිනට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්රධාන ජලාශ කිහිපයකම ජල මට්ටම ඉහළ යාම නිසා ඒවායේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ හරහා මුදා හැරෙන ජලය හේතුවෙන් අදාළ ගංගා සහ ඔය ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ දැනුම් දී තිබෙන අතර ඒ අනුව, දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා මේ වන විට එහි වාන් දොරටු අටක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 10,400ක ජල ප්රමාණයක් මුදා හැරෙමින් පවතින බව වාර්තා වෙයි.
ජලාශයේ පෝෂක ප්රදේශයට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව ඉදිරියේදී මෙම වාන් දොරටු විවෘත කර තැබීමේ ප්රමාණය වෙනස් විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව, රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු හයක් විවෘත කරමින් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,800කට අධික ජල ප්රමාණයක් මුදා හරිමින් පවතින අතර, මෙම ජලය නිකුත් කිරීම පෙරවරු 9.00 වන විට තත්පරයට ඝන අඩි 8,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.
පවතින වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව මෙම තත්ත්වයද ඉදිරියේදී වෙනස් විය හැකිය.
කුකුළේ ගඟ ජලාශයේ ද පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ තත්පරයට ඝන මීටර් 45ක ජල ප්රමාණයක් මුදා හැරෙන අතරතුර විදුලි උත්පාදනයේදී තත්පරයට ඝන මීටර් 48ක ජල ප්රමාණයක් පිට කරනු ලබයි.
ඒ අනුව එම ජලාශයෙන් කුඩා ගඟට මුදා හැරෙන සමස්ත ජල ප්රමාණය තත්පරයට ඝන මීටර් 93ක් බව ජලාශය භාර ඉංජිනේරුවෝ සඳහන් කරති.
අධික වර්ෂාව හමුවේ කලාවැවේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ. ඉහළ පෝෂක ප්රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ දඹුලු ඔය ඔස්සේ කලාවැවට තත්පරයට ඝන අඩි 5,500කට ආසන්න ජල ප්රමාණයක් ලැබෙමින් පවතියි.
මේ වන විට එහි ජල ධාරිතාව අක්කර අඩි 83,782ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කලාවැව වාන් දැමීමේ අවදානම සැලකිල්ලට ගනිමින් එහි හදිසි වාන් දොරටු දෙක අඟල් හයක් බැගින් විවෘත කර තිබේ.
ඒ ඔස්සේ කලා ඔයට තත්පරයට ඝන අඩි 511ක ජල ප්රමාණයක් මුදා හැරෙයි.
මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය ජලාශයට පහළින් දැදුරු ඔය ආශ්රිතව පදිංචි ජනතාවටත්, රාජාංගනය ජලාශයට පහළින් කලා ඔය ආශ්රිත ප්රදේශවල පදිංචි ජනතාවටත්, අදාළ ගංගා හා ඔය ආශ්රිත ප්රදේශවල ජල මට්ටම්වල වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇත.
වාන් දොරටු විවෘත කිරීම සහ ජලය මුදා හැරීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ඒ අනුව කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.





