කථානායක ජගත් වික්රමරත්නට එල්ල වී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා මත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව, චෝදනාවට ලක්වූ කථානායකවරයාම මුලසුන දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීම ප්රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදය තුළ විපක්ෂයට ඇති අයිතියට එල්ල කළ බරපතල පහරක් බව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්රීවරුන් පවසයි.
කථානායකවරයාට එරෙහිව පවතින බරපතළ චෝදනා ඉවත් කර ගැනීමට ආණ්ඩුව දරන කුමන්ත්රණයට යටත්ව ආණ්ඩුවට අවශ්ය පරිදි චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට විපක්ෂය සූදානම් නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්ය අංශය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

මේ අතර කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනි අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කර තිබුණි.
අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය ඔක්තෝබර් 09 වනදා සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත භාරදී තිබුණි.
කෙසේවෙතත් එහි තිබුණු නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් එම යෝජනාව සංශෝධනය කළයුතු බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් සඳහන් කරයි.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කර ඇති එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා තිබුණි.





