/ Oct 29, 2026

තේ පැල තවාන් සහ තේ වගාව සඳහා රක්ෂණයක්!

තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාගත හැක්කේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වූ හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති, තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පවත්වාගෙන යනු ලබන පැළ තවාන් සහ තේ වගාවන් සඳහා පමණි.

ගංවතුර, නියඟය සහ නායයෑම් වැනි පාලනය කළ නොහැකි ස්වාභාවික විපත් මෙන්ම පාලනය කළ නොහැකි රෝග හා කෘමි උවදුරු හේතුවෙන් සිදුවන හානි සඳහා ද මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාගත හැකිය.

ඒ අනුව, තේ පැළ තවානක ඇති එක් පැළයක් සඳහා වාර්ෂික රක්ෂිත මුදල රුපියල් 35ක් ලෙස නියම කර තිබේ.

තවද, තේ වගාවන් සදහා ක්ෂේත්‍රයේ අලුතින් තේ පැළ සිටුවා ඉන් දළු නෙලීම ආරම්භ කරන උපරිම අවුරුදු 04ක කාල සීමාවක් තුළ උපරිම අක්කර 01කට රුපියල් 1,000,000 දක්වා උපරිම රක්ෂණාවරනයක් ලබාගත හැකිවීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ විශේෂත්වය වේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා වාර්ෂික රක්ෂණ වාරිකය රක්ෂිත මුදලින් සියයට 6කි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවලින් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top