/ Nov 07, 2026

අයවැය සහන ගැන ජනාධිපති කතා කරයි!

ඉදිරි අයවැය තුළින් ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (07) කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.

මේ අතර උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) සීමාව තවදුරටත් ඉහළ දැමීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවයා පැවසුවේය.

මීට පෙර පැවති රුපියල් ලක්ෂයක බදු සීමාව රුපියල් ලක්ෂ එකහමාර දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කළ අතර එමෙන්ම එම සහනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙවර අයවැය මගින් PAYE බදු අය කිරීමේ සීමාව මෙලෙස යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි හෙතෙම කියාසිටියේ.

ඒ හරහා වැටුප් ලබන සේවකයන්ට තවදුරටත් බදු සහනයක් ලබාදීමට හැකි වනු ඇති බව ජනාධිපතිවරයා පවසන ලදී.

එමෙන්ම, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් දැක්වීය.

අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් ඉදිරිපත් කරන පාර්ශ්ව සහ සමාජ සංවිධාන සමග සාකච්ඡා කර පුළුල් එකඟතාවකට පැමිණීමෙන් තොරව ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තවද, මෙරට ඓතිහාසික පවුරු පදනම් අතහැර දමා කිසිදිනක රට ගොඩනැගීමට කටයුතු නොකරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශය බවත්, එම අංශයේ සේවකයන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශවල සේවකයන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එම වගකීම ඉටු කරමින් සියලු අංශවල සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top