/ Nov 19, 2026

ඇප සලකා බැලීම වෙනුවෙන් සුවිශේෂී කරුණක් නැහැ – නාමල් යළි රිමාන්ඩ්!

එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළඹෙන දෙසැම්බර් 2 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියම කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදීමද අද සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම ක‍ළේය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනය අවසානයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබීය.

අදාළ ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත් සමස්ත මුදලින් රුපියල් මිලියන 100ක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව ඔහු පළමු විත්තිකරු ලෙස නම්කර ඇති අතර දෙවන විත්තිකරු ලෙස ශමින්ද්‍ර රාජපක්ෂද, තෙවන විත්තිකරු ලෙස බිස් සොලියුෂන් සමාගම සහ සිව්වන විත්තිකරු ලෙස ප්‍රියංකා නියෝමාලි ද නම්කර තිබේ.

ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි යන සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම මත අධිකරණයේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කියා සිටියේ එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී අවශ්‍ය නෛතික පියවර ගනු ලබන බවයි.

ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙනී සිටි සැකකාර නාමල් රාජපක්ෂට අධිචෝදනා පත්‍ර සහ ඊට අදාළ ඇමිණුම් භාරදීම සිදුකරන තිබුණි.

පසුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය සේවාදායකයාගේ පෞද්ගලික නිදහස සීමා කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස ඉල්ලීමක් කළේය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ විත්තිකරුට ඇප ලබාදීම සඳහා වූ සුවිශේෂී කරුණු නොමැති පසුබිමක නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අධිකරණය හමුවේ ඇති තෝරාගැනීම වන බවත් අධිකරණය අද දිනයේ විත්තිකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරනවා නම් පැමිණිල්ල ලෙස අධිකරණය විසින් ලබාදෙන ඕනෑම කාල රාමුවක් යටතේ දිනපතා මෙම නඩුව ඇසීමට සහය ලබා දෙන බවයි.

ඒ අනුව පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විනාඩි 30ක පමණ කාලයකට නීති කෘත්‍යය කල් තබනු ලැබූ අතර පසුව යළි නීති කෘත්‍යය කැඳවමින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගය ප්‍රකාශයට පත්කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top