දරුවන්ගේ අනාගත අපේක්ෂාවන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද අන්තර්ගත කර ඇති බවත්, දරුවන් සිහින දකින ඒ රට නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා ආයතනය එක්ව “Little Amaya & Friends – ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ පැතුම” යන තේමාවෙන් නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සංවිධානය කළ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
පාර්ලිමේන්තුව තුළ සම්මත කරන සෑම නීතියක්ම සෑම ළමයෙකුගේම ජීවිතයට බලපාන බවත්, දරුවන්ගේ අදහස් පාර්ලිමේන්තු නියෝජිතයින් සමඟ බෙදාගැනීම ඉතා වැදගත් බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, දරුවන්ගේ අදහස්වලට ඇහුම්කන් දීමට රජය නිරන්තරයෙන් සූදානම් බව ද පැවසුවාය.
වැඩිහිටියන් ලෙසත්, මහජන නියෝජිතයින් ලෙසත් දරුවන්ට සුදුසු සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
යුනිසෙෆ් සංවිධානය විසින් “2036 වසරේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඔබේ දැක්ම කුමක්ද?” සහ “ඔබට වඩාත් වැදගත් වන, විසඳුම් අවශ්‍ය දේවල් මොනවාද?” යන ප්‍රශ්න දෙක දිවයින පුරා සිටින දරුවන් වෙත යොමු කර තිබූ අතර, ඊට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දිවයිනේ සෑම ප්රදේශයකින්ම දරුවන් 1,200කට අධික පිරිසකගෙන් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ අනුව, සුරක්ෂිත, සංවර්ධිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් පිළිබඳව සිහින දකින දරුවන්ගේ ප්‍රධානතම කනස්සල්ල බවට පත්ව ඇත්තේ සිය ආරක්ෂාව පිළිබඳ ගැටලුවයි. එම අදහස් ඇසුරින් සකස් කළ 2036 දැක්ම, සමස්ත දිවයිනේ දරුවන් නියෝජනය කරමින් පැමිණි ළමා කථිකයින් 07 දෙනෙකු විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, “නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් තුළින් ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය” පිළිබඳ විශේෂ සැසියක් ද යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙහිදී පවත්වනු ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර ඇතුළු මන්ත්‍රීවරියන්, යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනයේ වැඩබලන නියෝජිත බෙගෝනියා අරෙයානෝ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු ද, රාජ්‍ය නිලධාරීහු සහ දරුවෝ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.





