දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම තීන්දුව ලබා දුන් අතර මෙලෙස මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි යුවළක්ය.
හදාවඩා ගැනීම සඳහා ලබාගත් අවුරුදු දෙකක් වයසැති මෙම පිරිමි දරුවා 2018 වසරේ මැයි මස 11 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක, මාලිගාවත්ත ප්‍රදේශයේදී වධ හිංසාවට ලක්කොට මරණය සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.
සැකසහිත ලෙස මියගිය අවුරුදු දෙකක පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වල දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය විසින් අදාළ නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදුකර ඇති ආකාරය පොලිස් සාක්ෂිවලින් අනාවරණය වූ බව තවදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඒ පිළිබඳ සැකයක් ඇතිවීම නිසා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් පොලිස් සාක්ෂිවලින් අනාවරණය වී තිබුණි.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසීය.
මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල 90ක් පමණ නිරීක්ෂණය වී ඇති අතර ඒවා පිළිස්සුම් තුවාල මෙන්ම පහරදීම් හේතුවෙන් ඇතිවූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂිවලින් නිගමනය කර ඇති අතර අදාළ දරුවාගේ වෘෂන කෝෂවලටද දැඩි ලෙස හානි සිදුවී තිබූ බවත් වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබුණි.
සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී මියගිය දරුවා මෙම විත්තිකරුවන් භාරයේ ජීවත් වූ බව තහවුරු වී ඇති බැවින් ඉදිරිපත් වූ පර්වේෂණීය හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බවත් විනිසුරුවරයා තීන්දු කළේය.