2019 වසරේදී සිදුවූ රන්භාණ්ඩ සොරකමකට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකුට, පාපෝච්ඡාරණයක් ලබා ගැනීම සඳහා අමානුෂික පහරදීම හේතුවෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩව ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාට දඬුවම් නියම කර තිබේ. ඒ සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කරමින්.
මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එවක ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති මෙලෙස වරදකරුවන් බවට පත් වූහ.
පෙත්සම්කරු සඳහන් කර තිබුණේ, තමන් සේවය කළ ආයතනය ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස් මං හංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවත් පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට පොලීසියට නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් ය.
පසුව දෙවන වග උත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවට පෙත්සම්කරු චෝදනා කර තිබිණ.
ඉන් පසුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.
පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවද පෙත්සම්කරු සඳහන් කළේය.
ඉන් අනතුරුව නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12ක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා සහ අනෙකුත් සාක්ෂි අනුව පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බව විනිසුරුවරු ඒකමතිකව තීරණය කර මෙම තීන්දුව ලබා දී තිබේ.





