/ Jul 27, 2025

සහනයක් ඉල්ලා නියෝජිතයින් පිරිසක් අමෙරිකාවට යන්න සැරසෙයි

ඇමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති 30% ක තීරු බද්ද අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අනිද්දා (18) ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

එම නියෝජිත පිරිසට මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු පිරිසක් අයත්වන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඒ අනුව, මෙරටට පනවා ඇති 30% ක තීරු බද්ද අඩුකර ගැනීමට එම නියෝජිත පිරිස උපරිම උත්සාහ කරනු ඇති බව ඔහු සඳහන් කළේය.

තවද අමාත්‍යවරයා පවසා සිටියේ ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සිදු කරන සාකච්ඡාවලදී දෙරට අතර ද්වී – පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව ද සොයා බලනු ඇති බවයි.

ජනපති ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට සියයට 44ක තීරු බද්දක් පැනවීමට යෝජනා වූ අතර එය පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් ඇමෙරිකාව ඒ සඳහා දින 90 ක සහන කාලයක් ලබාදුන්නේය.

එම සහන කාලය තුළදී ශ්‍රී ලංකාව සක්‍රීයව ඇමෙරිකානු වෙළඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා එම තීරු බද්ද 30%ක් දක්වා අඩු කරගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top