නේපාලය විසින් Telegram පණිවිඩකරණ යෙදුම තහනම් කර ඇති අතර, මෙයට ප්‍රධාන හේතු වී ඇත්තේ අන්තර්ජාල වංචා සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාකාරකම්වල වර්ධනයයි. නේපාල විදුලි සංදේශ අධිකාරිය (NTA) විසින් සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්හට මෙම වේදිකාවට ප්‍රවේශය වහාම සීමා කරන ලෙසට නියෝග කර තිබේ.
Telegram යෙදුම ව්‍යාජ රැකියා දීමනා, cryptocurrency වංචා සහ වෙනත් වංචනික ක්‍රම හරහා මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය වංචා සඳහා වැඩි වැඩියෙන් භාවිතා වන බවට නේපාල රජය චෝදනා කරයි. ආරක්ෂක ආයතන විසින් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබේ.
Telegram නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවත්, පරිශීලක දත්ත බලධාරීන් සමඟ බෙදා ගැනීමට අපොහොසත් වන බවත් චෝදනා එල්ල වේ. නේපාල රජය Telegram හි නිල නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, දේශීය සම්බන්ධීකරණ නිලධාරියෙකු නොමැති වීම නිසා එය අසීරු වී තිබේ.
සමහර විචාරකයන් පෙන්වා දෙන්නේ Telegram වැනි යෙදුම් තහනම් කිරීම, අපරාධ වැළැක්වීම සඳහා පවතින දුර්වල නියාමන යාන්ත්‍රණයන්ට සහ නීති පද්ධතිවලට කෙටි කාලීන විසඳුමක් පමණක් බවයි.
නේපාලය මීට පෙර 2023 නොවැම්බර් මාසයේදී TikTok වීඩියෝ බෙදාගැනීමේ යෙදුම ද සමාජ කැළඹීම් සහ හානිකර අන්තර්ගතයන් පිළිබඳ කනස්සල්ල හේතුවෙන් තහනම් කර තිබුණි. කෙසේ වෙතත්, ByteDance (TikTok හි මව් සමාගම) රජයේ රෙගුලාසිවලට අනුකූල වීමට සහ ඩිජිටල් සාක්ෂරතාවය සහ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා සහාය වීමට එකඟ වීමෙන් පසු පසුගිය වසරේ (2024 අගෝස්තු මාසයේදී) එම තහනම ඉවත් කරන ලදී.