ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කර ගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් (Citation) පිරිනමන ලදි.
ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී (Officer-in-Charge) ආචාර්ය නිලේෂ් බුද්ධා (Dr Nilesh Buddha) මහතාගේ අත්සනින් යුතු එම නිල ඇගයීම් සහතිකය පිරිනමනු ලැබූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතා විසිනි.
මෙහිදී ශ්‍රී ලංකාව ඇගයීමට ලක්වූ ප්‍රධාන ක්ෂේත්‍ර ද්විත්වය වූයේ මැලේරියාවෙන් තොර රටක් ලෙස වසර 10ක් සපිරීම සහ මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම (Tetanus) තුරන් කර වසර 10ක් සපිරීමයි.
ශ්‍රී ලංකාව යනු මැලේරියාව තුරන් කළ රටකි. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් (Malaria-free country) ලෙස 2016 වසරේ දී නිල වශයෙන් සහතික කරන ලදී. එතැන් සිට මේ දක්වා වසර 10ක කාලයක් පුරා රට තුළට මැලේරියාව නැවත ඇතුල්වීම සහ ව්‍යාප්තිය වළක්වා ගනිමින් එම විශිෂ්ට තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම ලෝකයේම ඇගයීමට ලක්ව ඇත. මෙමගින් සමස්ත දකුණු-නැගෙනහිර ආසියානු කලාපයම මැලේරියාවෙන් තොර කලාපයක් කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල දායකත්වයක් ද සපයා ඇත. මාලදිවයිනට පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට පත්වීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.
ශ්‍රී ලංකාව මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම (Maternal and Neonatal Tetanus – MNT) සාර්ථකව තුරන් කළ රටකි. වසර 10ක් පුරා එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් එම සෞඛ්‍ය ජයග්‍රහණය අඛණ්ඩව රැකගැනීමට ද සමත්ව ඇත.
ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පිටගැස්ම ප්‍රතිශක්තිකරණ එන්නත් (Tetanus Toxoid) වැඩසටහන ද අඛණ්ඩව රට පුරා ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතු ශක්තිමත් සහ ප්‍රත්‍යස්ථ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, ඉහළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග විමර්ශන සහ පාලන පද්ධතිය හේතුවෙන් මෙම සෞඛ්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමට සහ ඒවා දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.
මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.






