/ May 12, 2026

බිලියන 13.2ක මූල්‍ය වංචාව : NDB ලොක්කන්ට එරෙහිව ගනුදෙනුකරුවෙකුගෙන් නඩුවක්!

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ රුපියල් බිලියන 13.2ක පමණ අභ්‍යන්තර මූල්‍ය වංචාවකට අදාළව, එම බැංකුවේ බලධාරීන්ට සහ එහි බාහිර විගණකවරුන් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernst & Young) ආයතනයට එරෙහිව එම බැංකුවේ කොටස් හිමියෙකු විසින් බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණයේ නඩුවක් (Derivative Action) ගොනු කර ඇතැයි වාර්තා වේ.

පෙත්සම්කරු වන එම්. ත්‍යාගරාජා පවසන්නේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ විගණකවරුන් පූර්වයෙන් අනතුර හඳුනාගැනීමට හෝ අසාමාන්‍ය මූල්‍ය ඉහළ යාම් සලකා බැලීමට අපොහොසත් වෙමින් දැඩි නොසලකා හැරීමකින් කටයුතු කර ඇති බවයි. මේ හේතුවෙන් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන ලෙසත්, ස්වාධීන වෝහාරික පරීක්ෂකවරුන් පත් කරන ලෙසත්, අහිමි වූ මුදල් නැවත ගෙවන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

පෙත්සමේ අන්තර්ගත කරුණු –

  • අභ්‍යන්තර පාලනයේ අසාර්ථකත්වය: බැංකුවේ විද්‍යුත් අරමුදල් හුවමාරු ඒකකය (CEFTS) තුළ නිසි පාලනයක් පවත්වාගෙන නොයෑම. එක් පුද්ගලයෙකුට මාස 21ක් පුරා සංවේදී තනතුරක රැඳී සිටීමට ඉඩ දීම සහ මුදල් හැසිරවීමේදී අවශ්‍ය වන ද්විත්ව අනුමැතිය වැනි මූලික ආරක්ෂක පියවරයන් නොමැති වීම.
  • අසාමාන්‍ය ලෙස ශේෂයන් ඉහළ යාම: 2023 දෙසැම්බර් සිට 2025 දෙසැම්බර් දක්වා කාලය තුළ CEFTS ගිණුම් ශේෂය රුපියල් බිලියන 1.42 සිට රුපියල් බිලියන 12.22 දක්වා අට ගුණයකින් පමණ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබියදීත්, ඒ පිළිබඳව විමසීමකින් තොරව 2025 මූල්‍ය ප්‍රකාශන අනුමත කිරීම.
  • පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම: 2025 නොවැම්බර් මාසයේදී රුපියල් මිලියන 290ක වෙනත් වංචාවක් අනාවරණය වී බැංකුවේ තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබියදීත්, සමස්ත පද්ධතිය පිළිබඳව වෝහාරික පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය අපොහොසත් වීම.
  • තොරතුරු වසන් කිරීම: 2026 අප්‍රේල් 2 වන දින කොළඹ කොටස් වෙළඳපොළට සිදු කළ මුල් අනාවරණයේදී රුපියල් බිලියන 13.2ක සැබෑ පාඩුව 35 ගුණයකින් පමණ අඩුවෙන් පෙන්වා තිබීම.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, විගණකවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි ද, බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනග්-ඊශ්වරන් ද, අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද පෙනී සිටියහ.

කරුණු සලකා බැලූ අධිකරණය, මීට අදාළ නියෝගය ජූනි 13 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top