පන්නිපිටිය දුම්රිය ස්ථානාධිපති නිල නිවසේ පදිංචිය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර කළ මැදිහත්වීමක් නිසා පරිපාලනමය ගැටලුවක් හටගෙන ඇතැයි දුම්රිය ක්‍ෂේත්‍රයේ විශ්වසනීය ආරංචි මාර්ග ‘ලංකා ටයිම්ස්’ වෙත සඳහන් කරයි.
කොට්ටාව දුම්රිය ස්ථානාධිපති හැටියට දැනට කටයුතු කරන එම්.දේව්දාස්ට පන්නිපිටිය දුම්රිය ස්ථානාධිපති නිල නිවාසය බාරදීමට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතත් එහි දැනට පදිංචිව සිටින දුම්රිය ස්ථානාධිපති පී. එන්. කේ. ඩී. අබේසිංහට තවදුරටත් එය ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා ඇති බවට චෝදනා නැගේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පසුගිය අගෝස්තු 3 වැනිදා දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කර තිබේ.
ඊට අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන), කොළඹ සී. පී. පී. දිසානායක විසින් නිකුත් කරන ලද 2026.05.21 දිනැති ලිපියක් මඟින් එම නිල නිවස දුම්රිය ස්ථානාධිපති එම්. දේව්දාස් මහතා වෙත ලබාදෙන ලෙස දන්වා ඇත.
එහෙත් කුරුණෑගල ස්ථිර පදිංචිකරුවකු වන දුම්රිය ස්ථානාධිපති පී. එන්. කේ. ඩී. අබේසිංහට දරුවන් දෙදෙනෙකු සිටින බවත් තංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඔහුගේ භාර්යාව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන බැවින් මානුෂික කරුණක් සේ සලකා එම නිල නිවස තවදුරටත් ලබාදීමට කටයුතු කරන මෙන් මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ.
පන්නිපිටිය දුම්රිය ස්ථානාධිපති නිල නිවසම හෝ එය ලබාදීමේ අපහසුවක් පවතී නම් මාකුඹුර දුම්රිය ස්ථානාධිපති නිල නිවස හෝ ලබාදීමට කටයුතු කරන මෙන් ද ඔහු තම ලිපියෙන් ඉල්ලා ඇත.
දුම්රිය ස්ථානාධිපති එම්. දේව්දාස් වෙත විකල්ප දුම්රිය ස්ථානාධිපති නිල නිවසක් ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන මෙන් ඉල්ලා ඇති මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ගනු ලබන පියවර පිළිබඳව තමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා තිබේ.
දුම්රිය පරිපාලන තීන්දුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මැදිහත්වීම පැහැදිලිවම දේශපාලනික යැයි ද දැනට පන්නිපිටිය නිල නිවසේ පදිංචි ස්ථානාධිපතිවරයා වෘත්තිය සමිති පියවරට සහාය නොදක්වන්නකු බැවින් මෙම මැදිහත්වීම ආණ්ඩු පාර්ශ්වයෙන් වී ඇතැයි ද වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයෙන් චෝදනා නැගේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකා ටයිම්ස්’ ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරගෙන් විමසීමක් කළ අතර ඔහු ඊට දුන් පිළිතුරු මෙසේය.
මේක මානුෂික ප්‍රශ්නයක් : පා.ම දේවානන්ද සුරවීර
ප්‍රශ්නය : ස්ථානාධිපති අබේසිංහගේ බිරිඳ අභියාචනය කළේ ඔබටද? දුම්රිය සාමාන්‍යාධිකාරීටද?
පිළිතුර : මා හරහා දුම්රිය සාමාන්‍යාධිකාරිට
ප්‍රශ්නය : එතකොට දැනට කොට්ටාවේ ස්ථානාධිපතිවරයාට පන්නිපිටිය නිල නිවසට එන්න ලැබෙන්නේ නැද්ද?
පිළිතුර : ඔතන පටලැවිල්ලක් තියෙනවා. මට තියෙන තොරතුරු අනුව දේව්දාස් මහත්තයට නියමිත ඉස්ටේෂම මාකුඹුර. නිල නිවසත් මාකුඹුර. ඒක එපා කියල ඔහු පන්නිපිටිය ඉල්ලන්නෙ. අර අයට යන්න කියලා දේව්දාස් මහත්තයට පන්නිපිටිය නිල නිවස දෙන්න තීන්දු කරල තිබුණා. ඒ අයට මම යෝජනා කළේ දේව්දාස් මහත්තයට පන්නිපිටියම දෙන්න ඕනෑ නම් අර මිනිස්සුන්ට තැනක් හොයාගන්නකල් ඉන්න දෙන්න කියලා. දරුවෝ තුන් හතර දෙනෙක්ට හදිසියේ ගෙයක් හොයාගන්න කියන එක සාධාරණ නෑනේ. දේව්දාස් මහත්තයට පන්නිපිටිය දුන්න කියල මට ප්‍රශ්නයක් නෑ. ගහෙන් ගෙඩි එන්න වගේ ගේ දෙන්න කිව්වම ප්‍රශ්නයක්නෙ.
ප්‍රශ්නය : නමුත් දුම්රිය වර්ජනයට සහාය නොදීම මත ස්ථානාධිපති අබේසිංහට ඔබ සහාය දක්වන බවට චෝදනාවක් නැගෙනවා?
පිළිතුර : ස්ට්‍රයික් එක වෙන්න බොහෝ කලින් අබේසිංහ මහතාගේ බිරිඳ ඔය ඉල්ලීම කළේ. මහත්තයා වැඩ නිසා එන්න විදියක් නෑ කියලයි ඇය ඉල්ලීම කළේ. ඒ අනුව මම ලිපියක් යැව්වා. ස්ට්‍රයික් එක මේකට අදාළ නෑ.
බාරදිය යුතු දිනය පැනලා දැන් මාස දෙකක් : ස්ථානාධිපති එම්.දේව්දාස්
පන්නිපිටිය නිල නිවසේ පදිංචිය සඳහා යොමුකළ ස්ථානාධිපති එම්.දේව්දාස්ගෙන් ද ‘ලංකා ටයිම්ස්’ මේ ගැන කරුණු විමසීමක් කළේය.
ප්‍රශ්නය : පන්නිපිටිය නිල නිවස ලබාගැනීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නය කුමක්ද?
පිළිතුර : තවමත් මට නිල නිවස බාරදෙන දවසක් නිශ්චිතව කියල නෑ. සති දෙකක් ඇතුළත නිවස බාරදෙන්න කියල ලිපිය යොමුකරලත් දැන් මාස දෙකක් ගතවෙලා.
ප්‍රශ්නය : එම නිල නිවස බාරදීමේ තත්ත්වය මොකක්ද?
පිළිතුර : අබේසිංහ මහතාට එම නිල නිවසේ පදිංචිවීමට දුන්නේ කොන්දේසි මත. දෙපාර්තමේන්තුව කරන දැනුම්දීමකදී අනිවාර්යෙන් වහාම එය බාරදිය යුතුයි.
මානෙල් ඩේවිඩ්





