/ Sep 28, 2026

මව්බිමේ සුවඳිනුත් සැනසෙන එතෙර ගිය දියණිය

උණුසුම් පිළිගැනීමකින් පසුව එළැඹි මඳ විරාමයකදී මම ඇය දෙස යළිත් වරක් බැලුවෙමි. සිනහමුසු මුහුණින් හා සැහැල්ලු ඉරියව්වකින් මා ඉදිරිපිට හිඳගෙන සිටින්නී, “ශාන්ති” ය. නමෙහි මෙන්ම ඇගේ පෙනුමෙහිද ආගන්තුක බවක් හඟවන කිසිදු ලකුණක් නොවීය.

එහෙත්, ඇයට කියන්නට ඇති සංවේදී කතන්දරයම, ඇගේ මුළු ජීවිතයම සසල කර දැමුණු සිදුවීම් දාමයම, මට කිසිසේත් ආගන්තුක ලෙස නොදැනුණු ඇගේ සාමාන්‍ය පෙනුම හා සැඟවුණු අනන්‍යතාව හා බැඳුණකි. ඒ, ඇයට තමන් ආගන්තුක ලෙස පෙනෙන මිනිසුන්ගෙන් පිරි පරිසරයක බිළිඳු වියේ සිටම හැදී වැඩෙන්නට, දෛවය විසින් බල කර තිබූ බැවිනි.

ශ්‍රී ලාංකික මා පිය යුවළකට දාව උපන් ශාන්ති, තවමත් ඈ නොදන්නා හේතුවක් මත බිළිදු වියෙහිදීම තම උපන් බිමෙන් සහ ලේ නෑයන්ගෙන් වෙන් කර ප්‍රංශ යුවළකට දරුකමට හදාගැනීම සඳහා භාර දී තිබිණි. සියලු අයිතිවාසිකම්වලින් පරිපූර්ණ ප්‍රංශයේ පුරවැසිකමද, දියුණු ලෝකයකට අයිති භෞතික සැප සම්පත්ද උරුම වුවත් තමන්ට වටිනා යමක් අහිමි වී ඇති බව, යන්තම් දැනුම් තේරුම් ඇති වියේ සිට ඇයට දැනෙන්නට පටන්ගෙන තිබුණේය. වසර ගණනක වෑයමකින් පසුව, සැතපුම් දහස් ගණනක් මග ගෙවාගෙන ඇය සිය නන්නාඳුනන මව්බිම සොයා පැමිණ සිටින්නී, ඒ අහිමි වූ දෙය සොයාගෙනය.

“අනිත් අයට වඩා ඔයා වෙනස් කියන හැඟීමක් මුලින්ම ඔයාගෙ හිතට දැනුණෙ කොහොමද?”

“මට මතකයි පුංචි කාලෙ ඉඳලම මම අහනවා, ඇයි මගේ හමේ පාට, කොණ්ඩෙ, පෙනුම අනිත් අයට වඩා වෙනස් කියලා. ටික ටික ලොකු වෙද්දි තමයි මට මේ දේවල් තදින්ම දැනෙන්න පටන්ගත්තෙ. මට නිතරම දැනුණා මම ඒ පරිසරයට අයිති නැති කෙනෙක් කියලා. මගේ කොණ්ඩේ, සමේ පාට විතරක් නෙවෙයි වෙනස, මගේ හදවත පවා හෙව්වේ වෙනස්ම දෙයක්. ඒ නිසාම මම දිගටම ඒ ගැන ප්‍රශ්න කළා. අන්තිමේදී අවුරුදු හයේදි මම දැනගන්නවා මම දරුකමට හදාගත්ත දරුවෙක් බව.” ඇය දැඩි සංවේගයෙන් යුතුව සඳහන් කළාය.

ඇගේ හදවත තුළ තම සැබෑ මව සහ උපන් බිම සොයා යාමේ ප්‍රබල කුතුහලයක් සහ අසීමිත ආශාවක් ජනිත වූයේද ඒ අවදියේමය. ඇයව හදාවඩා ගත් ප්‍රංශ දෙමාපියන්ගෙන් ඇයට හිමිවූයේ ආදරය සහ සුරක්ෂිතභාවය පිරි නිවසක් නොව, ප්‍රචණ්ඩකාරී, කෲර සහ දැඩි ලෙස පාලනය කෙරුණු පරිසරයකි.

“මුලින්ම මට මගේ ඇත්ත අම්මාව හොයාගන්න ඕන වුණේ මාව හදාගත්ත ප්‍රංශ අම්මා මට ආදරේ නෑ කියලා හිතුණු නිසයි. මොකද ඒ කාලේ මගේ හිත හොඳින් තිබුණේ නෑ, පුංචි ළමයෙක් විදිහට අන් අයගෙන් ආදරය ලබන්න මම ආස කළා. ඒ වගේම මගේ සැබෑ අම්මා ළඟ ඉන්න මට ඕන වුණා.

ඒත් ඇත්තටම, මම තව ටිකක් ලොකු වෙද්දී, ඒ හැඟීම් සම්පූර්ණයෙන්ම වගේ යටපත් වෙලා ගියා. ඒ කියන්නේ, මම මාව හදාගත්ත ප්‍රංශ දෙමව්පියන්ට විතරක් සම්පූර්ණයෙන්ම අවනත වෙලා ජීවත් වුණා. මොකද මාව ආයෙමත් තනි වෙයි, ආයෙත් අතහැරලා දායි කියන බය මගේ හිතේ තිබුණා. මොකද ඒ අය මට දිගටම කිව්වේ මගේ ඇත්ත අම්මා මාව අතහැරලා ගියා කියලයි. ඒ අය මාව පාලනය කරන්න පාවිච්චි කළෙත් මගේ හිතේ තිබුණු ඒ බයයි. ඉතින් මම පොඩි කාලේ ඒ අය කියන ඕනෑම දෙයකට එකඟ වුණේ ආයෙත් තනිවෙන්න තියෙන බය නිසයි. ඒ අය කළේ මගේ හිත රිදෙන ඒ හැඟීම් පාවිච්චි කරලා මාව ඒ අයට ඕන විදිහට පාලනය කරපු එක.” ශාන්ති ඇගේ වේදනාකාරී මතකය තවදුරටත් අවදි කළාය.

ඇගේ ජීවිතයේ ප්‍රබලම සංවේදී හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ ඇය ද මවක් බවට පත්වූ මොහොතේදී ය.

“මට මගේ සැබෑ අම්මාව ඇත්තටම ආයෙත් ඕන වුණේ මමත් අම්ම කෙනෙක් වුණාට පස්සෙයි. මගේ දරුවා ලැබෙන්න ඉද්දී රෝහලෙන් මගෙන් ඇහුවා මගේ පවුලේ ජානමය සෞඛ්‍ය ඉතිහාසය ගැන. මට ඒ එක ප්‍රශ්නයකටවත් උත්තර තිබුණේ නැහැ. එදා තමයි මට තේරුණේ මගේ දරුවා වෙනුවෙන් හරි මගේ මුල් සොයාගන්න ඕනේ කියලා. මගේ දරුවාව වඩාගත්තම මට දැනුණා මගේ සැබෑ අම්මා මාව වඩාගනිද්දී දැනෙන්න ඇති ආදරය කොයි වගේ ද කියලා. අම්මා කෙනෙක්ට තමන්ගේ ලෙයින් උපන් දරුවෙක්ව ලෙහෙසියෙන් අතහරින්න බැහැ කියන දේ මට තේරුණා.”

රෝහල්ගතවීමේ දී සිය දරුවා උදෙසා පවුලේ ජානමය හෝ සෞඛ්‍ය ඉතිහාසය ලබාදීමට නොහැකිවීමෙන් මතුවූ ප්‍රායෝගික ගැටලු හමුවේ සහ මවු සෙනෙහසේ සැබෑ අර්ථය වැටහීමත් සමඟ, සිය සැබෑ මව සොයා යාමේ අවශ්‍යතාව ඇය තුළ නැවතත් දැඩි ලෙස මතු විය. ඇය එතැන් පටන් වසර ගණනාවක් පුරා ප්‍රංශයේ සිට තම මව පිළිබඳ තොරතුරු සෙව්වා ය. ඉන් පසු වසරක පමණ කාලයක් පුරා සිත තුළ පැවැති දැඩි බිය සහ තැතිගැන්ම පාලනය කරගනිමින් ඇය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළා ය.

ප්‍රංශයේදී සිය හමේ පාට නිසා නිරන්තර වෙනස්කම්වලට, හෙළාදැකීම්වලට සහ කොන්කිරීම්වලට ලක්වූ බැවින්, සිය උපන් බිමේදී පවා තමන්ව “පිටස්තරයෙකු” ලෙස ප්‍රතික්ෂේප වේ යැයි යන බිය ඇගේ සිත තුළ තදින් පැවැතිණි.

එහෙත් සියලු සැකසංකා දුරු කරමින් ශ්‍රී ලංකාවට පා තැබූ පසු ඇයට හිමිවූයේ ඇය කිසිසේත් නොසිතූ ආකාරයේ උණුසුම්, සහෝදරත්වයෙන් පිරි මානුෂීය පිළිගැනීමකි.

“මම මේ ගමනට සූදානම් වුණේ අවුරුද්දක විතර ඉඳලා. ඒත් මට මෙහෙ එන්න හරිම බයක් තිබුණේ. මොකද ශ්‍රී ලාංකික ජනතාව මාව පිළිගන්න එකක් නැහැ, මාව තමන්ගේ කෙනෙක් විදිහට බාරගන්න එකක් නැහැ කියන බය මට තිබුණා. ඒක හරිම වේදනාකාරී හැඟීමක්.මොකද ප්‍රංශයේදීත් මාව ප්‍රංශ ජාතිකයෙක් විදිහට පිළිගන්නේ නැහැ, මට ඒ අයගේ හමේ පාට නැති නිසා. මට එහේදී ගොඩක් වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණා, ඒක හරිම අමාරු, තදින්ම හිතට වද දෙන දෙයක්. ඒත් ලංකාවේ ගුවන්තොටුපොළට ගොඩබැස්ස මොහොතේ ඉඳන් මිනිස්සු මාව පිළිගත්තේ තමන්ගේම සහෝදරියක් ගෙදර ආවා වගේ. ඒ ආදරය මගේ අවුරුදු ගාණක මානසික තුවාල සුව කළා.

“මම මීගමුවට ආපු පළමු වෙනි දවසේ මට හරිම බය හිතුණා. ඒ නිසා මම ගෙදර ඇතුළටම වෙලා හිටියා. එළියට ගිහින් මිනිස්සුන්ව මුණගැහෙන්න මට බයක් තිබුණා. ඊට පස්සේ හිමින් හිමින්, ටික ටික එළියට බැස්සා. කඩයකට බඩු ගන්න ගියා, බැංකුවට ගියා, ඒ විදිහට හෙමින් හෙමින් එළියට ගියේ.

එතකොට මාව වඩාත්ම පුදුමයට පත් කරපු පළමු වෙනි දේ වුණේ, මම එළියට ගියාම සමහර කාන්තාවන් මාත් එක්ක සිංහලෙන් කතා කරන්න පටන් ගත්ත එක. මම කිව්වා, ‘අනේ මට සිංහල බෑ, මම සිංහල නෙවෙයිනේ’ කියලා. ඒත් ඒ අය මාව තමන්ගේ කෙනෙක් විදිහට අඳුරගත්තා. මට ඒකෙන් ලොකු සැනසීමක් දැනුණා. මගේ දිහා බලලා මාව තේරුම් ගන්න පිරිසක් මට මුණගැහුණ පළමු වෙනි වතාව ඒකයි. තමන්ට කියලා පිළිගැනීමක් ලැබෙන තැනක් තියෙනවා කියන හැඟීම මට දැනුණා.”

තම අනන්‍යතාව සොයා යෑමේ අයිතිය, එක්සත් ජාතීන් විසින්ද පිළිගෙන ඇති මානුෂීය අයිතියකි. ලොව පුරා විවිධ දේශවලට, ජාතිකත්වයන්ට හා සංස්කෘතීන්ට අයත්ව ඉපිද, පසුව විවිධ සාධක මත වෙනත් පරිසරවලට විතැන් කෙරුණු ශාන්ති වැනි දසදහස් ගණනක් දෙනාට සිය අනන්‍යතාව සොයා යෑමේ අනුරාගය බලවත්  එකක් වන තරමටම, එය අතිදුෂ්කර වෑයමක්ද වී තිබේ. බොහෝ බාධක, පිරිවැය, කාලය, රැවටීම් ආදී කඩඉම් පසුකර ඉන් බොහෝ දෙනෙකුගේ ගමන කෙළවර වන්නේ ඉච්ඡාභංගත්වයෙනි. විදේශයන්හි කුලවද්දා ඇති ලාංකීය දරුවන් බොහෝ දෙනෙකු ව්‍යාජ ලියවිලි මත වංචනික ලෙස යවා තිබීම, විවිධ සමාජීය හේතු මත සැබෑ මව්පියන් තමන් සොයා එන දරුවන්ට මුහුණදීමට මැළි වීම වැනි කරුණු නිසා ඔවුන්ට සිය සැබෑ මව්පියන් සොයා ගැනීම කළුණික සෙවීමක් වී තිබේ.

මෙම මානුෂීය ඛේදවාචකයට පිළියම් යොදමින්, විදෙස් රටවල සිටින ලාංකීය දරුවන්ට සිය සැබෑ මුල් සොයාගැනීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ SERVE ආයතනය, ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශයේ ජාත්‍යන්තර සමාජ සේවා ආයතනය (ISS) එකතුව ‘සොයමු’ (Soyamu) ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. කිසිදු මුදලක් අය නොකර සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින්, විදෙස්ගත වූ දරුවන් සහ ඔවුන්ගේ සැබෑ ලාංකේය දෙමාපියන් අතර නීත්‍යානුකූල හා විශ්වාසනීය සම්බන්ධතාවක් ගොඩනැගීමට කටයුතු කරයි. ‘ශාන්ති’ එම ව්‍යාපෘතියේ මානුෂීය සහාය හිමි වූ සේවාලාභිනියකි. ඇය මට මුණගැසුණේ ද එම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණයෙනි.

මට මුණගැසෙන මොහොත වන විටත්, ශාන්තිගේ පරම සිහිනය වන සිය සැබෑ මව දැක ගැනීමට අවස්ථාව ඇයට හිමිව තිබුණේ නැත. සිය මව විය හැකි යැයි අනුමාන කළ හැකි කාන්තාවක ඇයට මුණගැසී තිබුණ ද, සිය දරුවා හදාවඩා ගැනීමට දුන්නේ විදෙස් යුවළකට නොව දේශීය යුවළකට බව ඇය කියා තිබිණි. එහෙත් ඒ මවගේ පෙනුම හා සිය පෙනුම සසඳා බලන ශාන්තිගේ හදවත බල කරන්නේ, ඇය සිය සැබෑ මව ලෙස පිළිගැනීමටය. 

“ඔයාගෙ අරමුණ තවම ඉටු වුණේ නැහැ. ලංකාවට ආව ගමන තේරුමක් නැති එකක් කියල හිතෙනවද?”

“අනේ නැහැ! මට මේ ගමනෙන් කොයිතරම් දෙයක් ලැබුණද කියල මට මේ රටේ හැමෝටම කියන්න ඕන! මොකද මතක ඇති කාලෙක ඉඳන් මම හිටියේ තනි වෙලා, අතරමං වෙලා. මම කවුද, මගේ තැන කොතැනද කියලා මම දැනගෙන හිටියේ නෑ. වෙන රටක හැදී වැඩෙද්දී තමන්ට පිළිගැනීමක් නැති වුණාම තමන්ගෙ තැන හොයාගන්න එක හරිම අමාරුයි. ඒත් ඔයාලා මට ඒ තැන දුන්නා. ඒක මට ඇත්තටම ගොඩක් වටින, ලොකු දෙයක්! මගේ මේ ගමනේදී මට මුණගැහුණු හැමෝම මං ගැන හරිම ආදරෙන් හොයා බැලුවා. ඒ අය හරිම කරුණාවන්තයි… මගේ ජීවිතේට අහන්න ලැබුණු ලස්සනම දේවල් කිව්වේ ඒ අය. මම අඳුරන්නේ නැති සමහර අය පවා මට කිව්වා, ‘ඔයා සංචාරකයෙක් නෙවෙයි, ඔයා ශ්‍රී ලාංකිකයෙක්. මේක ඔයාගේ රට, ඔයාගේ ගෙදර’ කියලා. හිතලා බලන්න, මම දන්නෙවත් නැති මිනිස්සු මට එහෙම කියනවා. ඒක මගේ හිතට ලොකු සුවපත් වීමක්. මගේ හිතේ බිඳිලා තිබුණු මොකක්දෝ දෙයක් ඒ අය ඒ විදිහට එක මොහොතකින් යථා තත්ත්වයට පත් කළා. ඒ හිතවත්කම විතරක්ම පාවිච්චි කරලා. ඒක හරිම සුන්දර හැඟීමක්.” ශාන්ති හැඟීම්බරව පැවසුවාය.

ඒ වන විට ඇගේ සිත තුළ පැවති පීඩනය කෙමෙන් ඉහිල් වී යමින් පවතින අයුරු, මුහුණේ ඉරියව්වලින් පිළිබිඹු විය. ඕනෑම ලාංකිකයකුගේ නෙතට කඳුඵ නැංවෙන තරම් ආදරණීය වචනවලින් ඇය ලංකාව ගැනත්, එහි මිනිසුන් ගැනත් කතා කළාය. බොහෝ කල් සිට දැන හැඳින සිටි කලෙක මෙන් අප එකිනෙකා අතර මිතුරු හැඟීමක්ද ලියලා වැඩෙමින් තිබුණේය. මෙතෙක් වෙලා නොඅසා සිටි අසීරුම ප්‍රශ්නය ද ඇයගෙන් ඇසිය යුතු යැයි මට සිතිණි.

“ඔයාගෙ ඇත්ත දෙමාපියන් ගැන මොනවගේ හැඟීමක්ද දැනෙන්නෙ? ඒ අය මුණගැහුණම, ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?”

“ඒක අහපු එක හොඳයි. ඔයා වුණත් හිතනව ඇති මම ඒ අය ගැන තරහකින් හරි දුකකින් හරි ඉන්නව කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. මං ඒගොල්ලන්ට ආදරෙයි. මොකද ඒගොල්ල මට ජීවිතයක් දීල තියනවා. ඒ ජීවිතය මට ගොඩක් වටිනවා. ඒ වගේම මං ආසයි, ඒගොල්ලන්ට ලස්සන මුණුපුරෝ දෙන්නෙක් ඉන්නව කියන ආරංචිය කියන්න. මං හිතන්නෙ ඒ ගැන ඒගොල්ල ගොඩක් සතුටු වේවි. එයාලට දැන් යහපත් ජීවිතයක් තියෙනවා නම් ඒක මං නිසා අවුල් වෙනවා කියලා හිතනවා නම් එයාලව මුණගැහෙන්නෙ නැතිව මම ජීවිත කාලෙම මේ තනිකම විඳගෙන ඉන්නවා. ඒත් මම දවසකට හරි මගේ දෙමව්පියන් දකින්න කැමතියි”

මෙම ලිපියේ අමුණා ඇති ශාන්තිගේ බිළිඳු වියේ ඡායාරූපය හඳුනන හෝ විදෙස් යුවළකට දරුවෙකු හදා වඩා ගැනීමට ලබාදුන් මව්පියන් හෝ ඥාතීන් වේ නම්, 0701 242 242 යන දුරකතන අංකය හෝ soyamulk@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ ‘සොයමු’ ව්‍යාපෘතිය හා සම්බන්ධ වී තොරතුරු ලබාගැනීමේ සහ තොරතුරු ලබාදීමේ හැකියාව තිබේ. විදේශගත මව්පියන්ට දරුවන් ලබා දීම් පිටුපස ඇති පිටතට පෙනෙන මනරම් චිත්‍රයට එහා ගිය, ලෙයින් බැඳුණු සැබෑ මව් සෙනෙහසේ, අනන්‍යතාවයේ සහ උපන් බිමට බැඳුණු අක්මුල්හි ජීවගුණය ශාන්ති වැනි දියණියන්ගේ ජීවිත කතාවලින් අපට කියාදෙන පාඩමයි.

සෝබා කෝලියවංශ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top